තරග පරාජය ගැන ක්‍රීඩා ඇමතිගෙන් සැර නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලෝම පාහේ මේවන විට දැඩි කණගාටුවකට හා කනස්සල්ලකට පත්ව ඇති බව පෙන්වා දෙන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු අධෛරමත් නොකර ඔවුන්ට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර, ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතු බවට නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.

මෙම පරාජයන්හි වගකීම කිසිදු ක්‍රීඩකයෙකුට හට පැවරිය නොහැකි බවත්, එහි වගකීම වසර 04 ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාර ගත යුතුව බවත් අමාත්‍යවරයාගේ මතය යි.

විශේෂයෙන්ම අනෙකුත් සෑම රටක්ම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අති නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම හා මෙවලම් භාවිතා කළ ද, අප රටෙහි එය සිදු නොවීම මත ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම හේතුවක් ලෙස අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවයට හා පුහුණු අංගයන් අතර අත්‍යවශ්‍ය අංගයන් වන පිහිණුම් තටාකයක් ද මේවන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉදිවී නොමැති බවට අමාත්‍යවරයා චෝදනා කරනවා.

LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වන ලංකාවේ ප්‍රධානතම දග පන්දු යවන්නා වන වනිදු හසරංගට ලෝක කුසලාන තරගාවලියම අහිමිවීම, අනෙක් දග පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ, වේග පන්දු යවන දුෂ්මන්ත චමීර , මතීෂ පතිරණ, ලහිරු කුමාර වැනි දක්ෂ ක්‍රීඩකයින් ආබාධයට ලක් වීම ලෝක කුසලාන තරගාවලියකට කණ්ඩායමක් ලෙස තරග කිරීමට සුදුසු තත්ත්වයක් නොමැතිවීම මෙවැනි තරගාවලි පරාජයන්ට සෘජුව බලපෑ බව සදහන් කර තිබෙනවා.

රට දෙවෙනි කොට ඇංජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ හා පලපුරුදු ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුලු නොකිරීම ද මෙම පරාජයන්ට තවත් හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ලෝක ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලදාරීන්ට තව දුරටත් බලයේ රැදී සිටිමට සදාචාරාත්මක අයිතියක් ඇති දැයි ප්‍රශ්ණ කෙරෙන අතර, තරගාවලි පරාජයේ වගකීම භාරගෙන ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බව අමාත්‍යවරයාගේ ස්ථාවරයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *