ඉතිහාසගත මිලකට මතීෂ කොල්කටාවට – පැතුම් දිල්ලියට – වනිඳු ලක්නව්

IPL ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස මතීෂ පතිරණ අද ඉතිහාසගත මිලකට අලෙවි වුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මතීෂ ඉන්දිය රුපියල් කෝටි 18කට මිලදී ගත් අතර එය ශ්‍රී ලංකා මුදලින් දළ වශයෙන් රුපියල් කෝටි කෝටි 61යි දශම 2ක්.

පැතුම් නිස්සංක මෙහිදී ඉන්දීය රුපියල් කෝටි 4කට මිලදී ගත්තේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

2026 අයි පී එල් ක්‍රිකට් තරගාවලියට අදාළ මෙවර ක්‍රීඩක වෙන්දේසිය අද ආරම්භ වුණේ අබුඩාබි හිදියි.

අද පස්වරු ආරම්භ වූ අතර ලියාපදිංචි වූ ක්‍රීඩකයින් 1355 දෙනා අතරින් ක්‍රීඩකයින් 350 දෙනෙකු මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කළා.

මෙහිදී ඔස්ට්‍රේලියා තුන්ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ඉන්දීය රුපියල් කෝටි 25යි දශම දෙකකට කොල්කටා නයිටර් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගත්තා.

අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියකදී විදෙස් ක්‍රීඩකයෙකුට අලෙවි වූ ඉහළම වටිනාකම මෙය වන අතර එම වටිනාකම දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 85යි දශම 7ක්.

මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කෙරෙන අතර ඒ් අනුව මෙවර මුලින්ම වෙන්දිසිය සඳහා ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගයි.

ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික වටිනාකමක් යටතේ ඉදිරිපත් කෙරුණු වනිඳු හසරංගව එම වටිනාකමටම ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මිලදී ගත්තා.

එම වටිනාකම දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 6 යි දශම 8ක්.

අනතුරුව ක්‍රීඩක වෙන්දේසියේදී වැඩි අවධානයක් යොමු වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ මතීෂ පතිරණ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණා.

ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික වටිනාකමක් යටතේ ඉදිරිපත් කෙරුණු මතීෂ පතිරණ මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලංසු පිට ලංසු තැබුවා.

විනාඩි 7කට අධික කාලයක් මතීෂ වෙනුවෙන් මෙම කණ්ඩායම් දෙක ලංසු තැබූ අතර කෙසේ වෙතත් මතීෂව අවසානයේ ඉන්දීය රුපියල් කෝටි 18කට මිලදී ගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

මතීෂට මෙහිදී හිමි වූ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61යි දශම 2ක්.

මතීෂට හිමි වූ වටිනාකම වාර්තා අතරට එක්වන්නේ අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හිමි වූ වැඩිම වටිනාකම ලෙසයි.

මීට පෙර IPL ක්‍රීඩක වෙන්දේසියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වූ වටිනාකම හිමි වුණේ 2022 වසරේදී වනිඳු හසරංගටයි.

එම ක්‍රිඩක වෙන්දේසියේදී වනිඳුව රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝ කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 10යි දශම 7යි 5කට මිලදී ගෙන තිබුණා.

මහීෂ් තීක්ෂණව ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික වටිනාකමක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණුද ඔහු මූලික වටයේදී කිසිදු කණ්ඩායමක් මිලදී ගත්තේ නැහැ.

ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මූලික වටිනාකමක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු පැතුම් නිස්සංකව ඉන්දීය රුපියල් කෝටි 4කට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මිලදී ගත්තා.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල කෝටි 13.61ක්.

දසුන් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මූලික වටිනාකමක් යටතේ ඉදිරිපත් කෙරුණද ඔහුව කිසිදු කණ්ඩායමක් මූලික වටයේදී මිලදි ගත්තේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *