ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමයක් වූ D.S ද සිල්වා දිවිසැරය නිමා කරයි

ශ්‍රී ලංකාවේ මංගල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩාකළ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ඩී. එස්. ද සිල්වා මහතා ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 83වැනි වියේ පසුවුණා.
1942 වසරේ ජූනි 11 වැනිදා ගාල්ලේ දී උපත ලැබූ දන්දෙනියගේ සෝමචන්ද්‍ර ද සිල්වා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදිසිසුවෙක්.

1975 වසරේ ජුනි 07 වැනිදා ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයටද ක්‍රීඩා කළ ඩී. එස්. ද සිල්වා 1982 පැවති මංගල ටෙස්ට් තරගයටද ක්‍රිඩා කළා.

ඔහු සිය ක්‍රිකට් දිවියේ ටෙස්ට් තරග 12 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

එහිදී ඔහු පිතිකරුවෙකු ලෙස ලකුණු 406ක් රැස්කරගත් අතර පාද‍ඟ පන්දු යවන්නෙකු ලෙස ටෙස්ට් කඩුලු තිස් හතක් දවාගැනීමට සමත්වුණා.

ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් පළමු ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේද ඩී.එස්. ද සිල්වායි.

ශ්‍රී ලංකාවේ දෙවන ටෙස්ට් නායකයා වන ඔහු ටෙස්ට් තරග 2කදී කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

ජාත්‍යන්තර එක්දින තරග හතළිස් එකක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩී.එස්. එහිදී දවාගෙන ඇති කඩුලු ගණන 32 ක්.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු‍ගැනීමෙන් අනතුරුව පුහුණුකරුවෙක් සහ කළමනාකරුවෙක් ලෙස ඔහු ක්‍රිකට් පරිපාලනයට එක් වුණා.

එමෙන්ම ඩී.එස්. ද සිල්වා මහතා වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයෙක් ලෙස කටයුතු කළ අතර පසුව තේරීම් කමිටු සාමාජිකයෙක් සහ තේරීම් කමිටු සභාපති වරයකු ලෙසද කටයුතු කර තිබෙනවා.

ඊයේ රාත්‍රී යේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී ඩී. එස්. ද සිල්වා අභාවප්‍රාපත්වී ඇති අතර ඔහු මියයන විට 83 හැවිරිදි වියේ පසුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *