චමරිලා ලෝක කුසලානයේ පළමු ජය ලබයි

මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.

ඒ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කරමින්.
නවි මුම්බායි හි ඩී වයි පටිල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායිකාව දිනා ගත් අතර ඇය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව නායිකා චමරි අතපත්තු සමගින් පිටියට පිවිසි විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා ඉනිමේ පළමුපන්දුවේදීම දැවී ගියා.

අනතුරුව චමරි සමගින් පිටියේ එක් වූ හසිනි පෙරේරා දෙවන කඩුල්ලට ලකුණු 72ක අගනා සබඳතාවක් ගොඩනැගුවා.

චමරි අතපත්තු මෙම තරගයේදී ලකුණු 46ක් රැස් කරමින් එක්දින ලකුණු හාරදහසේ සීමාව පසු කළේ එම කඩඉම පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වෙමින්.

සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ හසිනි පෙරේරා සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 85ක් රැස් කළා.

ශ්‍රී ලංකා කාන්තා පිලේ මැදපෙළ යළි අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 202කට සීමා වුණා.

ලකුණු 203ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා පිලේ මුල් කඩුල් 3 ලකුණු 44 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්වුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශ මැද පෙළ පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට මැනවින් පහරදෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට රැගෙන ආවා.

අවසන් පන්දුවාරයේදී බංග්ලදේශයට ජයග්‍රහණය සඳහා ලකුණු 9ක් අවශ්‍යව තිබූ අතර නායිකා චමරි අතපත්තු ක්‍රියාත්මක කළ එම පන්දුවාරයේදී කඩුලු 4ක් බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා කාන්තා මෙම තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කළා.

ඒ මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *