ශ්‍රී ලංකා කාන්තා පිලේ ජයග්‍රහණයට වැස්ස හරස් වෙයි

COLOMBO, SRI LANKA - OCTOBER 14: Sophie Devine of New Zealand and Chamari Athapaththu of Sri Lanka speak to umpires Eloise Sheridan and Gayathri Venugopalan after the match is called off after rain delays during the ICC Women's Cricket World Cup India 2025 match between New Zealand and Sri Lanka at R. Premadasa Stadium on October 14, 2025 in Colombo, Sri Lanka. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අද අත්හැර දැමීමට සිදුවුණා.

ඒ අනුව දෙපිලටම හිමි වුණේ එක් ප්‍රසාද ලකුණ බැගින්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නවසීලන්තයට එරෙහි තරගයට ශ්‍රී ලංකා කාන්තා පිල එක් වූයේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු රඳවා ගැනීමේ අරමුණ ඇතිවයි.

මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායිකාව දිනා ගත් අතර ඇය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කාන්තා පිල අද තරගයට පිවිසුනේ පියුමි වත්සලා සහ මල්කි මදාරා කණ්ඩායමට කැඳවමින්.

ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක් සිදු කරමින් චමරි අතපත්තු සමගින් මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ විශ්මි ගුණරත්නයි.

ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් ගොඩනැගුවා.

චමරි අතපත්තු ලකුණු 53ක් රැස් කළ අතර විශ්මි ගුණරත්න ලකුණු 42ක් රැස් කළා.

හර්ෂිතා මාධවී සහ හසිනි පෙරේරා තුන්වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනැගූ අතර මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය පන්දු 26කදී වාර්තා කිරීමට නිලක්ෂිකා සිල්වා සමත්වුණා.

මෙය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එක්දින පිටියේ වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයද වනවා.

අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාව ලකුණු 16ක් රැස් කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 55යි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවා 50දී කඩුලු 5ක් දැවී ලකුණු258ක් රැස් කළේ නවසීලන්ත පිලට සටනක් දිය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව ක්‍රීඩාංගණයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

දිගින් දිගටම ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට සිදු වූ අතර ඒ අනුව දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *