ඉන්දියාව 9 වැනි වරටත් ආසියානු ශූරයින් වෙයි

India team players celebrate win during the Final match of the DP World Asia Cup 2025 between India and Pakistan at the Dubai International Stadium, Dubai, United Arab Emirates, on 28 September 2025. Photo by Deepak Malik / CREIMAS for Asian Cricket Council

පාකිස්තාන පන්දු යවන්නන්ට මෙල්ල නොවූ තිලක් වර්මාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර 9වන වරටත් ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ඉන්දියාව සමත් විය.

ආසියානු කුසලාන තරගාවලිය එක්දින හා විස්සයි20 යන ද්විත්ව ආකෘති යටතේම පැවැත්වෙන අතර, එළැඹෙන විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කර මෙවර විස්සයි20 ආකෘතියෙන් පැවැත්විණි.

විස්සයි20 ආකෘතිය ආසියානු කුසලානයට පළමුවරට එක්වූයේ 2016 වසරේ දීය.

අවසන් වරට 2023 වසරේ එක්දින ආකෘතියෙන් පැවති තරගාවලිය ජයගැනීමට සමත් වූයේද ඉන්දියාවයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (28) පැවති අවසන් මහා තරගයේ පාකිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 147ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම කඩුලු 5කට ලකුණු 150ක් රැස්කර තරගයේ අවසන් (19.4) පන්දුවාරයේ දී සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

ඉන්දීය ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූ තිලක් වර්මා නොදැවී ලකුණු 69ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු පන්දු 53කට මුහුණදුන්නේය.

පැය එක හමාරකටත් අධික කාලයක් කඩුල්ලේ රැඳී සිටි වර්මා සිය ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 9කින් වර්ණවත් කළේය.

මෙම තරගාවලිය පුරා ඉන්දීය ඉනිමට ප්‍රවේගකාරී ආරම්භයක් ලබාදුන් අභිෂේක් ෂර්මා අද ලකුණු 5ක දැවී ගියේය.

එමෙන්ම ගිල්, සූර්යකුමාර්ද ලකුණු 20ක් තුළ යළි ක්‍රීඩාගාරයේ අසුන්ගැන්වීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

කෙසේ නමුත් 4වන කඩුල්ලට සංජු සැම්සන් හා වර්මා පන්දු 50ක් ගොඩනැගූ ලකුණු 57ක සබඳතාවත්, ඉන් අනතුරුව 5වන කඩුල්ලට ශිමාම් ඩුබේ හා වර්මා පන්දු 40කින් ගොඩනැගූ ලකුණු 60ක සබඳතාවත් ඉදිරියේ පාකිස්තානයට පරාජය භාරගන්නවා හැරෙන්න අන් කිසිවක් ඉතිරි නොවීය.

පාකිස්තාන ආරම්භක පන්දු යවන්නන් දෙපළ වූ ශහීන් ෂා අෆ්රිඩි (1/20) හා ෆහීම් අෂ්රෆ් (3/29) සාර්ථක පන්දු යැවීමක නිතර වුවත්, දැඩි පහරකෑමට ලක් වූ හාරිස් රවුෆ් පන්දුවාර 3.4කදී ලබාදුන් ලකුණු 50 පාකිස්තාන පරාජයේ ප්‍රධානම සාධකය විය.

ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 146ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *