ඉන්දු – පාකිස්තාන විරසකය කාන්තා ක්‍රිකට් පිටියටත්

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී පාකිස්තානය ලකුණු 88කින් පරාජය කරමින් අඛණ්ඩව දෙවන ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත්වුණා.
ඉන්දු පාකිස්තාන ක්‍රිකට් නායිකාවන්ද මෙම තරගයේදී අතට අත දීමෙන් වැළකී සිටියේ සිය එදිරිවාදිකම් තවදුරටත් ඉදිරියට රැගෙන යමින්.

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගය ඊයේ පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

කාගේත් අවධානයට ලක් වූ මෙම තරගයේදීද පෙහෙල්ගම් ප්‍රහාරය සහ දෙරටේ දේශපාලන අර්බුදය ඉස්මතු වීම කැපී පෙනුණා.

එම එදිරිවාදිකම් යළිත් ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළේ පසුගිය ආසියානු තරගාවලියේ මෙන්ම මෙම තරගයේදීද දෙපිලේ නායිකාවන්ද අතට අතදීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය පාකිස්තාන නායිකාව දිනා ගත් අතර ඇය පළමුවෙන් පන්දුරැකීමට තීරණය කළා.

ඉන්දීය මුල් පෙළ පිතිකාරිනයන්ට දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට නොහැකි වුවත් හර්ලින් ඩිඔල් ලකුණු 46ක් සහ රිචා ගෝස් නොදැවී ලකුණු 35ක් රැස් කරමින් ඉන්දීය ඉනිම සවිමත් කළා.

ඉන්දීය ඉනිම අතරතුර ප්‍රේමදාස පිටියේ ඇති වූ කෘමි ආක්‍රමණයක් හේතුවෙන් තරගයට බලපෑම් එල්ල වුණා.

කෘමි ආක්‍රමණය හේතුවෙන් දෙපිලේ ක්‍රීඩිකාවන් අපහසුතාවට පත්වූයේ මෙලෙසින්.

අනතුරුව ක්‍රීඩාංගණය ධූමායනය කිරීමට කටයුතු කෙරුණු අතර මේ හේතුවෙන් තරගය මිනිත්තු 15ක් පමණ ප්‍රමාද වුණා.

අනතුරුව තරගය ආරම්භ වූ අතර ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී සියලු දෙනා දැවී ලකුණු 247ක් රැස් කිරීමට සමත්වුණා.

ලකුණු 248ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කාන්තා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 102ක් තුළ බිඳ වැටුණා.

ආරම්භක පිතිකාරිනයක වූ මුනිබා අලිගේ දැවී යාම මතභේදයට තුඩුදුන් අතර එහි එම දැවී යාම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රීඩිකාවන් දැක් වූ ප්‍රතිචාරයයි මේ.

ඒ අනුව ලකුණු 248ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කාන්තා පිලට පන්දුවාර 43ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 159ක් පමණයි.

ආසියානු කුසලානයේදී මෙන්ම මෙම තරගයේදීද ඉන්දු – පාකිස්තාන නායිකාවන් තරගයෙන් අනතුරුව අතට අත දීමෙන් වැළකී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *