ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී අද ආරම්භ වනවා.

පළමු තරගය අද රාත්‍රී 8 පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානය සහ හොංකොං කණ්ඩායම අතරයි.

කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පන්දුවාර 20-20 තරගාවලියක් ලෙස පැවැත්වෙනවා.

තරගාවලිය අද සිට සැප්තැම්බර් 28 දක්වා පැවැත්වෙන අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 20-20 ආකෘතියෙන් පැවැත්වෙන 3 වැනි අවස්ථාව මෙයයි.

ලබන වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් ලෙසයි මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 20-20 ආකෘතියෙන් පැවැත්විමට තීරණය කර ඇත්තේ.

තරග 19කින් සමන්විත මෙවර තරගාවලියේ තරග ඩුබායි සහ අබුඩාබි හිදි පැවැත්වෙන අතර අබුඩාබිහි පැවැත්වෙන එක් තරගයක් පමණක් පස්වරු 5ට ආරම්භ වන අතර අනෙක් සියලු තරග මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර A කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඕමානය තරග වදිනවා.

B කාණ්ඩයෙන් තරග වදින්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං යන කණ්ඩායම්.

මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය සැප්තැම්බර් මස 13 වැනිදා බංග්ලාදේශයට එරෙහිව අබුඩාබි හිදි පැවැත්වෙන අතර දෙවන තරගය සැප්තැම්බර් මස 15 වැනිදා හොංකොං කණ්ඩායමට එරෙහිව ඩුබායි හිදි පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගි වන තුන්වැනි සහ අවසන් තරගය සැප්තැම්බර් මස 18 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව අබුඩාබි හිදි පැවැත්විමට නියමිතයි.

ක්‍රිකට් ලොව පසමිතුරන් වන ඉන්දීය – පාකිස්තාන අතර මූලික වටයේ තරගය සැප්තැම්බර් මස 14 වැනි ඉරිදා ඩුබායි හිදි පැවැත්වෙනවා.

මූලික වටයේදී ඒ ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර සුපිරි සිවුදෙනාගේ වටය සැප්තැම්බර් මස 20 වැනිදා ආරම්භ වනවා.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් මස 28 වැනිදා ඩුබායි හිදි පැවැත්වෙනවා.

ආසියානු කුසාලන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය බී කාණ්ඩයේ ඇෆ්ගනිස්තානය සහ ඕමානය අතර අබුඩාබිහිදි අද රාත්‍රි 8ට ආරම්භවීමට නියමිතයි.

————————————–
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය
ශ්‍රී ලංකා පිලේ තරග කාලසටහන

සැප්තැම්බර් 13
ශ්‍රී ලංකාව – බංග්ලාදේශය
අබුඩාබි – රාත්‍රී 8.00ට

සැප්තැම්බර් 15
ශ්‍රී ලංකාව – හොංකොං
ඩුබායි – රාත්‍රී 8.00ට

සැප්තැම්බර් 18
ශ්‍රී ලංකාව – ඇෆ්ගනිස්තානය
අබුඩාබි – රාත්‍රී 8.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *