කමිල් මිෂාර ප්‍රමුඛ ශ්‍රී ලංකා මුල්පිතිකරුවන්ගේ සාර්ථක පිතිහරඹය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති 3 වැනි සහ අවසන් 20-20 තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවිලය 2ට 1ක් ලෙස ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවයි.
හරාරේ හිදි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 191ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුණා.
මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා පිලට එරෙහිව 20-20 තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
සිම්බාබ්වෙ ඉනිම ඔසවා තැබූ ටඩිවන්ශේ මරුමනි ලකුණු 51ක්, නායක සිකන්දර් රාසා ලකුණු 28ක් සහ රයන් බර්ල් ලකුණු 26ක් රැස් කිරීමට සමත්වුණා.
පන්දුයැවීමේදී දුෂාන් හේමන්ත කඩුලු 3ක් දවා ගත් අතර දුෂ්මන් චමීර කඩුලු දෙකක් දවා ගත්තා.
සිම්බාබ්වේ පිතිකරුවන් අවසන් පන්දුවාර 5ට ලකුණු 52ක් රැස් කිරමින් සිය ඉනිම ලකුණු 200 ආසන්නයට රැගෙන ගියා.
ලකුණු 192 දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගල වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ආරම්භ කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනැගුවා.
කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කළ අතර පැතුම් නිස්සංක ලකුණු 33යි.
අනතුරුව පිටියේ එක් වූ කමිල් මිෂාර සහ කුසල් ජනිත් සිම්බාබ්වේ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් තුන්වැනි කඩුල්ලට පන්දු 63කින් නොබිඳුනු ලකුණු 117ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිල සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන ගියා.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කමිල් මිෂාර පන්දු 43කදී නොදැවී ලකුණු 73ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 6කින් වර්ණවත් වුණා.
කුසල් ජනිත් පෙරේරො පන්දු 26කදී නොදැවී ලකුණු 46ක් රැස් කළා.
පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ ජයග්‍රාහී ඉල්කකය පසුකළ ශ්‍රී ලංකාව මෙම තරගය කඩුලු 8කින් ජයගත්තේ තරගාවලියේ ජයද තහවුරු කර ගනිමින්.
3වැනි 20-20 තරගයේ වීරයා ලෙස කමිල් මිෂාර සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ දුෂ්මන්ත චමීරයි.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2ට එකක් ලෙස ජය ගත් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි 20-20 තරගාවලියේ ජයත් හිමිකර ගැනීමට සමත්වුණා.
