ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව ජර්සිය ඊයේ (15) එළිදැක්වුණි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ, එක්දින, 20 – 20 සහ ටෙස්ට් යන ආකාර ත්රිත්වය සඳහාම නව ජර්සි එළිදක්වා ඇති බවයි.
මෙම ජර්සිය ක්රිකට් ක්රීඩකයින්ගේ සුවපහසුව වැඩි කිරීම, ශ්වසන හැකියාව ප්රශස්ත කිරීම සහ ක්රිකට් තරගවලදී ක්රීඩකයින්ට ක්රීඩා කිරීමේ පහසුව ඇති කිරීම යන කරුණු සලකා බලමින් නිර්මාණය කර තිබේ.
එළඹෙන ශ්රී ලංකා – සිම්බාබ්වේ තරග සංචාරයේදී එක්දින සහ 20 – 20 නව ජර්සිය ක්රීඩා ලෝලීන්ට දැකගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිල ක්රිකට් ඇඳුම් හවුල්කරු වන මූස් ක්ලෝතින් සමාගම විසින් නිර්මාණය කර ඇති නව ජර්සිය දියුණු, අලුතින් සංවර්ධනය කරන ලද රෙදිපිළි භාවිතයෙන් නිර්මාණය කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් හි කහ-නිල් වර්ණයන්ගෙන් යුතුව ඊට එක්කර ඇති දැල් පැනල් මඟින් ක්රීඩකයන් තණතීරුවේ දීර්ඝ කාලයක් ක්රීඩා කිරීමේ දී සිසිල්ව හා අවධානයෙන් සිටීම සහතික කෙරෙන බව මූස් ක්ලෝතින් පවසයි.
එක්දින ජර්සිය නිර්මාණය කර ඇත්තේ 80 දශකයේ අගභාගයේ සහ 90 දශකයේ නිරූපිත ශ්රී ලංකා ක්රිකට් විලාසිතාව නැවත පණ ගන්වමිනි. එක්දින ජර්සිය නාවික නිල් පැහැයෙන් සහ තද කහ පැහැයෙන් යුක්ත වන අතර එය ශ්රී ලංකාවේ ක්රිකට් ගමන හැඩගස්වූ යුගයක මතකයන් අවදි කරයි. සැහැල්ලු, හුස්ම ගත හැකි රෙදිවලින් නිමවා ඇති එය නවීන කාර්ය සාධනයක් සමඟ රෙට්රෝ චමත්කාරය ලබා දෙන බව මූස් ක්ලෝතින් සඳහන් කරයි.
T20 ජර්සිය ශ්රී ලංකාවේ ලෝක මට්ටමේ ඇඟලුම් උරුමය සමරමින් සියුම් රේඛා සහිත දීප්තිමත් කහ පැහැයක් සහ ගැඹුරු නිල් පැහැයක් සමඟ යුගලනය කර ඇත. එය T20 හි සඳහාම වන දැඩි ඉල්ලීම්වලට අනුකූලව වේගය, කඩිසරකම සහ සුවපහසුව සඳහා නිර්මාණය කර ඇත.
