ශ්‍රී ලංකා ක්‍රිකට් 20-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ අද පැවති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලූස් කණ්ඩායම පරාජය කරමින්.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බ්ලූස් කණ්ඩායම පළමුවෙන් පන්දුරැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කිරීමට සමත්වුණා.
කමිඳු මෙන්ඩිස් පන්දු 39කදී ලකුණු 50ක් රැස් කළ අතර චාමික කරුණාරත්න ලකුණු 41ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 20ක් රැස් කරමින් ග්‍රීන්ස් ඉනිම ඔසවා තැබුවා.
පන්දුයැවීමේදී ඩිල්ෂාන් මදුසංඛ සහ අකිල ධනංජය කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්වුණා.
ලකුණු 159ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලූස් කණ්ඩායමට පන්දුවාර 16ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 86ක් පමණයි.
මෙහිදී ලකුණු 6ක් ලබා සිටියදී බ්ලූස් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා අනතුරකට මුහුණ පෑවා.
ඒ ප්‍රමෝද් මධුෂාන් යැවූ පන්දුවක් අතක වැදීම හේතුවෙන්.
දැඩි වේදනාවකින් සිටි කුසල් ජනිත් පිටියෙන් ඉවතට රැගෙන ගියේ මෙලෙසින්.
ධනංජය ද සිල්වා ලකුණු 18ක් රැස් කළ අතර අකිල ධනංජය සහ රවිඳු ප්‍රනාන්දු ලකුණු 16 බැගින් රැස් කළා.
සුපිරි පන්දුයැවීමක නිරත වූ දුෂාන් හේමන්ත ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තා.
ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 72ක ජයක් වාර්තා කළ කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන්ස් කණ්ඩායම අපරාජිතව මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
