ගාල්ලේදී ක්‍රිකට් ගැසූ ඔස්ට්‍රේලියා අග්‍රආණ්ඩුකාරවරිය – PHOTO

ශ්‍රී ලංකාවේ පස්දින නිල සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියානු අග්‍රආණ්ඩුකාරවරිය වන සෑම් මොස්ටින් මහත්මිය අද (09 දා) උදෑසන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකාවේ, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වන පෝල් ස්ටීවන්ස් මහතා සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණි ඒ මහත්මිය ගාල්ල දිස්ත්‍රික් වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ සංචිත ගත කොට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟින් ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වීම කැපී පෙනිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් බන්දුල බස්නායක මහතා ඇතුළු ක්‍රිකට් ආයතනය බලධාරීන් විසින් ඔස්ට්‍රේලියානු අග්‍රආණ්ඩුකාරවරිය ඇතුළු පිරිස උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව, ලේකම්වරයා වන බන්දුල දිසානායක මහතා විසින්, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සතු පෞඪ ඉතිහාසය පිළිබඳව වූ කෙටි අවබෝධයක් ද ඔවුන් වෙත ලබා දෙනු ලැබීය.

ඔස්ට්‍රේලියානු අග්‍රආණ්ඩුකාර ධුරයක් දරන්නකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ශක්තිමත් ක්‍රීඩා සබඳතා අවධාරණය කරමින්, ඔවුන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ළාබාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ක්‍රිකට් උපකරණ බෙදා දීමද මොස්ටින් මහත්මිය අතින් සිදුකෙරිණ.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ලෙසින් කටයුතු කරන ධර්මසිරි වීරතුංග, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අංශ ප්‍රධානී චන්දිම මාපටුන, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන අංශයේ ප්‍රධානී කමල් ධර්මසිරි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිපාලන ප්‍රධානී අරුණ ද සිල්වා මෙන්ම ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් මහේෂ් සංජීව යන මහත්වරුද සහභාගිවූහ.

බ්‍රිතාන්‍යෙය් කිරුළ දරන තුන්වැනි චාල්ස් රජුගේ නියෝජිතයා ලෙසට බලතල හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකත්වය ලෙස සැලකෙන අග්‍රආණ්ඩුකාර ධුරයට වන අතර එරට සන්නද්ධ හමුදාවන්ගේ සේනාධිනායකයා ලෙසින්ද සෑම් මොස්ටින් මහත්මිය කටයුතු කරන්නීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *