මූල්‍ය අර්බුද කතාව පට්ටපල් බොරුවක් – ශ්‍රී ලංකා ක්‍රිකට්

ලබන වසරේ ඉන්දියාව සමඟ ලෝක කුසලාන සම සත්කාරකත්වය සැපයීමට සහ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරග 11ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරීව සූදානම් සිටිනවා.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවනසුලු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ එහි මෙහෙයුම් කළමනාකරණය කිරීමට මෙන්ම දිගුකාලීන උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති බව ඊයේ විශේෂ සඳහනක් කළා.

එවැනි පුළුල් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ස්ථාවරත්වය හේතුවෙන් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

රට පුරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කර ප්‍රතිසංස්කරණය කරමින් පවතින අතර, මේ හරහා ලෝක කුසලාන ක්‍රිකට් තරගවලදී සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකාවේ සූදානම සහතික කරන අතරම ජාතියේ ක්‍රිකට් යටිතල පහසුකම්ද වැඩිදියුණු කිරීමක් බවද එහි දැක්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හරහා සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දිගුකාලීන ආයෝජනයක් කර තිබෙනවා.

මේ ‘හරිත මුල පිරීම’ සැලසුම් කර ඇත්තේ පරිසරය, ක්‍රීඩාවේ අනාගතය සහ අඛණ්ඩ මූල්‍ය ශක්තිය මත ශක්තිමත් ප්‍රතිලාභයක් ලබා දීම සඳහා වන අතර ඊට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි බිම් මට්ටමේ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන වන ජාතික මාර්ග වැඩසටහන බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි ලෙස කටයුතු කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සංවර්ධනය සඳහා කැපවී සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *