සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ ප්‍රබල ස්ථානයක පසුවන්නට බංග්ලාදේශ පිල සමත්වුණා.
අද දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 484ක් ලබා සිටියා.
අද දිනයට තරගය ආරම්භ කරනවිට බංග්ලාදේශය සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවි ලකුණු 292ක් රැස්කරගෙන ප්‍රභල ස්ථානයක පසුවුණා.
ශ්‍රී ලංකා පන්දු යවන්නනට හිසරඳයක් වූ නජ්මුල් හොසේන් ෂන්තෝ සහ මුෂ්ෆිකර් රහීම් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 264ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගු අතර එම සබඳතාව වාර්තා අතරට එක්වුණේ ගාල්ල ක්‍රීඩාංගණයේදී සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ඉහළම සබඳතාව ලෙසයි.
බංග්ලාදේශ පිලේ සිව්වන කඩුල්ල ලෙස ,ලකුණු 148ක් රැස්කර සිටි නායක නජ්මුල් හොසේන් ෂන්තෝ දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වන්නේ මැතිව්ස්ගේ විශිෂ්ඨ පන්දු රැකීම හමුවේයි.
අනතුරුව පිටියට එක්වූ ලිටන් දාස් ,මුෂ්ෆිකර් රහීම් පස්වැනි කඩුල්ලට ලකුණු 149ක සබඳතාවක් ගොඩනගමින් නැවතත් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළා.
මුෂ්ෆිකර් රහිම් මෙහිදී ලකුණු 150 සීමාව පසු කිරීමට සමත්වුණා.
ඒ අතරවාරයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර මේ නිසා තරගය පැය දෙකකට අධික කාලයක් පැවැත්විමට හැකියාව ලැබුණේ නැහැ.
අනතුරුව ආරම්භ වූ තරගයේදී ශ්‍රී ලංකා පිලට හිසරදයක්ව වූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 163කට අසිත ප්‍රනාන්දු දවාගත් අතර ලිටන් දාස් ලකුණු 90කට දැවී ගියේ තරිඳු රත්නායක යැවූ පන්දුවක් හමුවේයි.
අවසන් භාගයේ ක්‍රියාත්මක වූ මිලාන් රත්නායක කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වුණා.
ඒ අනුව දිනය නිමා වන විට බංග්ලාදේශය කඩුලු 9ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 484ක්.
