සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.
පළමු දිනය නිමා වන වන විට බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 292ක් ලබා පළමු දිනයේ වැඩි ගෞරව දිනා ගත්තා.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගය 2025 – 2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ආරම්භක තරගයයි.
එම තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු උදාර සහ තරිඳු රත්නායක ටෙස්ට් වරම් දිනාගත්තා.
අද තරගය ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයයි.
මැතිව්ස්ගේ අවසන් තරගය වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සූදානම් කර තිබූ ආකාරයයි මේ.
තරගය ආරම්භයට පෙර මැතිව්ස් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් ද සංවිධාන කර තිබුණා.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල ලෙස අනමුල් හක් දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වුණා.
මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන තරිඳු රත්නායක සිය පළමු කඩුල්ල ලෙස ශඩ්මන් ඉස්ලාම් දවාගත් අතර තරිඳු සිය දෙවන කඩුල්ල ලෙස මොමිනුල් හක් දවාගැනීමට සමත්වුණා.
බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 45ක් තුළ දැවී තිබියදී පිටියේ එක් වූ නායක නජ්මුල් හොසේන් ෂන්තෝ සහ මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශ ඉනිම සවිමත් කළේ සිව්වැනි කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනගගමින්.
ඔවුන් දෙදෙනා අද දිනයේදී ශතක වාර්තා කළ අතර දිනය නිමා වන විට බංග්ලාදේශය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 292 ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහරදෙන නායක නජ්මුල් හොසේන් ෂන්තෝ ලකුණු 136ක් සහ මුෂ්ෆිකර් රහීස් නොදැවී ලකුණු 105ක් ලබා සිටිනවා.
