දින 5ක් පුරා පැවති 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඊයේ දකුණු කොරියාවේදී නිමාවට පත්වුණා.
ගියවර රන් පදක්කම් 3ක් සමගින් පදක්කම් 8ක් දිනූ ශ්‍රී ලංකාව මෙවර දිනා ගත්තේ ලෝකඩ පදක්කම් 3ක් පමණයි.
දින 5ක් පුරා දකුණු කොරියාවේ පැවති 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ කාගේත් වැඩි අවධානයක් දිනා ගත් මීටර සියයය හතර කාන්තා සහ පිරිමි සහාය දිවීමේ ඉසව් ඊයේ පැවැත්වුණා.
තරගාවලියේ අවසන් තරග ඉසව් දෙක ලෙස ක්‍රියාත්මක වූ එම ඉසව් දෙකෙන් මුලින්ම පැවැත්වුණේ මීටර සියය හතර කාන්තා සහාය දිවීමේ ඉසව්වයි.
මෙම ඉසව්වේ රන් පදක්කම චීනය දිනා ගත් අතර රිදී පදක්කම ඉන්දියාවත් ලෝකඩ පදක්කම තායිලන්තයත් දිනා ගත්තා.
මෙවර තරගාවලියේ අවසන් තරග ඉසව්ව ලෙස මීටර 100 සියය හතර පිරිමි සහාය දිවීමේ ඉසව්ව අනතුරුව පැවත්වුණා.
මෙම තරගයේදී සියල්ලන් මවිතයට කරමින් සත්කාරක දකුණු කොරියාව නව තරග වාර්තාවක් සමගින් එහි රන් පදක්කම දිනා ගත්තා.
තායිලන්තයට රිදී පදක්කම දිනා ගත් අතර ලෝකඩ පදක්කම දිනා ගත්තේ හොංකොං රාජ්‍යයි.
පදක්කම් බලාරොත්තු රැසක් ඇතිව ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට සහභාගි වූවද ශ්‍රී ලංකාවට මෙවර දිනා ගත හැකි වූයේ ලෝකඩ පදක්කම් 3ක් පමණයි.
පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ කාලිංග කුමාරගේ තත්පර 45යි දශම 5යි 5ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දුන්නා.
ශ්‍රී ලංකා ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියකදී මීටර 400 පිරිමි ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාව මෙලෙස පදක්කමක් දිනා ගත්තේ වසර 18කට පසුවයි.
ශ්‍රී ලංකාව මීටර 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් අතර එම ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ කාලිංග කුමාරගේ, සදෙව් රාජකරුණා, සයුරි මෙන්ඩිස් සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දුයි.
කාන්තා මීටර 400 හතර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට නදීෂා රාමනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වුණා.
මෙවර පදක්කම් සටහනේ රන් පදක්කම් 15ක්, රිදී 8ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනූ චිනය පදක්කම් සටහනේ පෙරමුණ හිමිකර ගත්තා.
දෙවන ස්ථානය ජපානය අභිබවමින් රන් 8ක් රිදී 10ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනා ගනිමින් හිමිකර ගත්තේ ඉන්දියාවයි.
තුන්වැනි ස්ථානය රන් 4ක්, රිදී 10ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනූ ජපානයට හිමි වුණා.
ගියවර රන් පදක්කම් 3ක් ඇතුළු සමස්ත පදක්කම් 8ක් දිනමින් පදක්කම් සටහනේ සිව්වැනි ස්ථානයට පත් වූ ශ්‍රි ලංකාවට මෙවර පදක්කම් සටහනේ හිමි වුණේ 14 වැනි ස්ථානයයි.
ශ්‍රී ලංකා පදක්කම් මල්ල මෙවර ලෝකඩ පදක්කම් 3කට පමණක් සීමා වුණා.
