මැතිව්ස් සමුගැනීමට ඇත්තම හේතුව ?

වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නැංගුරම බවට පත්ව සිටින හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අද සිය ටෙස්ට් දිවියේ සමුගැනීම නිවේදනය කළා.

ලබන මස බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගයයි.

2009 වසරේදී පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් වරම් හිමිකරගත් ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියේ දැක් වූ දක්ෂතා හේතුවෙන් 2013 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා බවටද පත්වනවා.

එවක 25 හැවිරිදි මැතිව්ස් වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයට පත් වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි.

ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකා පිලේ නැංගුරම බවට පත් වූ 37 හැවිරිදි මැතිව්ස් මේ වන විට ටෙස්ට් තරග 118කට ක්‍රීඩා කරමින් ලකුණු 8167ක් රැස්කර ගෙන සිටින්නේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනගෙන් පසු වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ තුන්වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වෙමින්.

මැතිව්ස්ගේ ටෙස්ට් ලකුණු අතරට ශතක 16ක් සහ අර්ධ ශතක 45ක් ඇතුළත් අතර ඔහුගේ ටෙස්ට් පිතකරණ සාමාන්‍ය දැක්වෙන්නේ 44යි දශම6යි දෙකක් ලෙසයි.

වසර 17ක් ජාතික කණ්ඩායම නියෝජනය කළ මැතිව්ස් ටෙස්ට් තරග 34කදී ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදෙමින් ඉන් තරග 13කදී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා මෙහෙයවා තිබෙනවා.

2016 වසරේදී 3-0ක් ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් ශ්‍රී ලංකා පිල පළමුවරට හිමිකර ගන්නේද ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේයි.

ටෙස්ට් තරග රැසකදී ශ්‍රී ලංකා පිල ඔසවා තැබූ මෙම අසහාය ක්‍රීඩකයා අද සිය ජාත්‍යන්තර ටෙස්ට් සමුගැනීම සමාජය මාධ්‍ය ගිනුම් ඔස්සේ නිවේදනය කළා.

ඒ බංග්ලාදේශ පිලට එරෙහිව ජුනි 17 වැනිදා ගාල්ලේදී ආරම්භවන පළමු ටෙස්ට් තරගය තමන් ටෙස්ට් පිටියේ සහභාගිවන අවසන් තරගය බව සඳහන් කරමින්.

යොවුන් ක්‍රීඩකයෙකුට රට වෙනුවෙන් දස්කම් දැක්වීමට අවස්ථාව සලසමින් නික්ම යාමට දැන් කාලය එළැඹ ඇති බවයි මැතිව්ස් සඳහන් කර තිබුණේ.

තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තද රටට අවශ්‍ය වූ විටෙක සීමිත පන්දුවාර සඳහා එක්වීමට තමන් සූදානම් බවද මැතිව්ස් එහි සඳහන් කර තිබුණා.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ පසුගිය වසර 17 තුළ තමාගේ උපරිම දක්ෂතාවන්හිදි මෙන්ම දුර්වලතම අවස්ථාවන්වලදී තමන් වෙනුවෙන් පෙනී සිටි ක්‍රීඩාලෝලීන්ට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පුහුණුකරුවන්ටද මැතිව්ස් සිය කෘතඥතාව පළ කළා.

මැතිව්ස්ගේ නිවේදනය පහතින්

කෘතඥපූර්වක හදවතකින් සහ අමතක නොවන මතකයන් සමඟින් මගේ ආදරණීය මිතුරන් සහ පවුලේ අය වෙත ,

ක්‍රීඩාවේ වඩාත්ම ආදරණීය ආකෘතිය වන ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට මට කාලය එළඹ ඇත!.. ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ පසුගිය වසර 17, මගේ ඉහළම ගෞරවය සහ ආඩම්බරයයි.

ජාතික ජර්සිය පැළඳ සිටින විට ඇති වන අභිමානය සහ ආඩම්බරය පිළිබඳ හැඟීමට සමාන කළහැකි කිසිවක් නැත. මම මගේ සියල්ල ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දී ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාවද මට සියල්ල ආපසු ලබා දී ඇත. අද මා සිටින පුද්ගලයා බවට පත් කර ඇත.

ඉහළම සහ පහළම මට්ටම්වලදී මගේ වෘත්තීය ජීවිතය පුරා මා වෙනුවෙන් සිටි දහස් ගණනක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට ස්තූතිවන්ත වෙමි. ක්‍රිකට් ක්‍රීඩාවට කෘතඥ වෙමි. ජුනි මාසයේදී බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරඟය මගේ රට වෙනුවෙන් ක්‍රීඩාකරන අවසන් රතු පන්දු තරඟය වනු ඇත. මම ටෙස්ට් ආකෘතියට සමු දෙන අතර, තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කළ පරිදි, මගේ රටට මාව අවශ්‍ය වූ විට සහ සුදු පන්දු ආකෘති සඳහා මම සූදානමින් සිටිමි.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දක්ෂ කණ්ඩායමක් බව මම විශ්වාස කරමි, අනාගත සහ වර්තමාන ශ්‍රේෂ්ඨයන් බොහෝ දෙනෙක් ඇති බව මම දනිමි. අපේ ජාතිය බැබළීමට හැකි තරුණ ක්‍රීඩකයෙකුට ඉඩ සැලසීමට දැන් හොඳම කාලය බව පෙනේ.

දෙවියන් වහන්සේට, මගේ ආදරණීය දෙමාපියන්ට, මගේ ලස්සන බිරිඳට, මගේ දරුවන්ට, මගේ පවුලේ අයට සහ සමීපතම මිතුරන්ට, සාමූහිකව සැමවිටම මා කෙරෙහි විශ්වාසය තැබූ, මට සහාය දුන් සහ මා සමඟ සිටි අයට මම ස්තූතිවන්ත වෙමි. තවද, මගේ වෘත්තීය ජීවිතය පුරාවටම සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ සියලුම පුහුණුකරුවන්ට මගේ විශේෂ ස්තූතිය සහ කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. වසර ගණනාවක් පුරා කැපවී සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම වෙනුවෙන් මගේ කළමනාකරණ කණ්ඩායමටද ස්තූති වෙමි.

මගේ ක්‍රිකට් ක්‍රිඩාවේ පරිච්ඡේදයක් දැන් අවසන් වී ඇත. නමුත් ක්‍රීඩාවට ඇති ආදරය සැමවිටම නොවෙනස්ව පවතිනු ඇත..

මීට ඔබගේ ආදරණීය ,
ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *