රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඒ දින 90ක් තුළ නව නිලධාරී මණ්ඩලයක් පත් කළ  යුතු බව දන්වමින්.

පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ පරිපාලනය සම්බන්ධයෙන් අර්බුදකාරීත් තත්වයක් මතු වූ අතර මේ හේතුවෙන් අධිකරණය හමුවේ නඩුද පවරා තිබුණා.

එම අර්බුදකාරී තත්වය හමුවේ වුවද ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඉකුත් කාලසීමාවේදී කැපී පෙනන දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර ඔවුන් මේ වන විට ආසියානු ශූරතා පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියටද සුදුසුකම් ලබා සිටිනවා.

කෙසේ වෙතත් රග්බි පරිපාලනයේ මතුව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ ශ්‍රී ලංකා රග්බි සංගමය සඳහා සුදුසු බලධාරියෙක් වශයෙන් පත් කළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දුගේ පත්වීමද වහාම බලපැවැත්වෙන පරිදි අවලංගු කරන බවයි.

එමෙන්ම නිර්දේශිත ව්‍යවස්ථාවක් සම්මත කිරීමට ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක් පත්කළ බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

එහි සභාපතිවරයා ලෙස ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතා කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයින් වනුනේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ්, ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිල්ප්ස්, සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික රෙහාන් අභයකෝන්.

එමෙන්ම 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සහ එහි සංශෝධන අනුව සහ ඒ යටතේ නිකුත් කරන ලද විධිවිධාන අනුව නව ව්‍යවස්ථාව ලියාපදිංචි කිරීමෙන් දින 90ක් ඇතුළත නව නිලධාරීන් පත් කර ගැනීම සඳහා නිලවරණය පැවැත්විය යුතු බවද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ශ්‍රී ලංකා රග්බි සංගමය නව ව්‍යවස්ථාවක් යටතේ පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමකදී සිය නිලධාරීන් පත්කර ගන්නා තෙක් ශ්‍රී ලංකා රග්බි සංගමයේ කාර්යයන් කරගෙන යාමට සහ කළමනාකරණය කිරීම සඳහා පත් කළ ක්‍රියාකාරී කාර්ය බලකායට ගැසට් නිවේදනය මගින් බලය පවරා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *