දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනූ හැටි

අතිශය තියුණු සටනකින් පසු මෙවර රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී, සටන්කාමී නවසීලන්ත කණ්ඩායම පරාජයට පත්කළ, ගියවර ශූරයින් වූ දකුණු අප්‍රිකා කණ්ඩායම මෙවරත් රග්බි ලෝක කුසලානය දිනාගැනීමට සමත්වුණා.

දකුණු අප්‍රිකා කණ්ඩායම රග්බි ලෝක කුසලානයක් ජයගත් සිව්වන අවස්ථාව මෙයවන අතර වැඩිම රග්බි ලෝක කුසලාන සංඛ්‍යාවක් ජයගත් කණ්ඩායම ලෙසද ඔවුන් වාර්තා අතරට එක්වුණා.

දින 51ක් පුරා කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවති තරග 47කින් පසු, මෙවර රග්බි ලෝක කුසලානයේ උත්කර්ෂය සනිටුහන් කරමින් අවසන් මහා තරගය අද අළුයම ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.

මෙවර රග්බි ලෝක කුසලානයේ අවසන් මහා සටනට සුදුසුකම් ලබා සිටියේ 1987, 2011 සහ 2015 යන වසර වල ලෝක ශූරයින් වූ නවසීලන්තය සහ 1995, 2007 සහ 2019 යන වසර වල ලෝක ශූරයින් වූ දකුණු අප්‍රිකාවයි.

කණ්ඩායම් දෙකම සිව්වන වරට ලෝක කුසලාන කිරුළ හිමිකර ගැනීමේ අරමුණෙන් පිටියට පිවිසෙද්දී මෙවර තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන වෙබ් එලිස් කුසලානය ක්‍රීඩාංගණය වෙත රැගෙන ආවේ හිටපු නවසීලන්ත සුපිරි ක්‍රීඩක ඩෑන් කාටර් විසින්.

අවසන් මහා තරගය ආරම්භ කිරීමට පෙර නවසීලන්ත කණ්ඩායම සාම්ප්‍රදායික හකා අභියෝගය ඉදිරිපත් කළේ මේ ආකාරයෙන්.

අනතුරුව විනිසුරු වේන් බාන්ස්ගේ සංවෙන් ඇරඹි අවසන් මහා තරගයේ ප්‍රථමයෙන්ම ලකුණු රැස් කිරීම ආරම්භ කළේ දකුණු අප්‍රිකාවයි.

මේ අතර පළමු අර්ධයේ 27 වැනි මිනිත්තුවේදී නවසීලන්ත නායක සෑම් කේන් රග්බි නීති උල්ලංඝනයවන අයුරින් අවධානම් සහගත තරග රටාවක නිරතවීම හේතුවෙන් විනිසුරුවරයා ඔහුට රතු කාඩ් පතක් ලබාදී තරගයෙන් ඉවත් කළ අතර එතැන් සිට සමස්ත තරගය පුරාවටම නවසීලන්තයට තරග වැදීමට සිදුවූයේ ක්‍රීඩකයින් 14 දෙනෙක් සමගයි.

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් තරගයකදී ක්‍රීඩකයෙක්ට රතු කාඩ් පතක් ලබාදී තරගයෙන් ඉවත්කළ පළමු අවස්ථාව මෙයයි.

පළමු අර්ධයේදී දකුණු අප්‍රිකාව දඬුවම් පහර 4ක්ද, නවසීලන්තය දඬුවම් පහර 2ක්ද සාර්ථක කරගත් අතර ඒ අනුව ලකුණු 12ට 6ක් ලෙස පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

නමුත් තරගයේ 58වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ නවසීලන්තය උත්සාහක දිනුමක් වාර්තා කළද, ඔවුන්ට එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත හැකිවූයේ නැහැ.

ඒ අනුව 73වැනි මිනිත්තුව දක්වාම ලකුණු 12ට 11ක් ලෙස දකුණු අප්‍රිකාව තරගයේ පෙරමුණගත් අතර 73වැනි මිනිත්තුවේදී නවසීලන්තයට දඬුවම් පහරක් මගින් ලකුණු 3ක් රැස්කරගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට තිබූ අවස්ථාවක් අවාසනාවන්ත ලෙස මගහැරී ගියා.

එක් ලකුණක් පසුපසින් සිටි නවසීලන්තය අවසන් මිනිත්තුව දක්වාම තරගය ජයගැනීමට දැඩි උත්සාහයක නිරත වුවද එම උත්සාහය සාර්ථක වූයේ නැහැ.

ඒ අනුව තියුණු සටනකින් පසු ලකුණු 12ට 11ක් ලෙස තරගය ජයගත් ගියවර ශූරයින් වූ දකුණු අප්‍රිකාව පිට පිට දෙවන වරටත් රග්බි ලෝක කුසලානය හිමිකර ගත්තා.

එම ජයත් සමග දකුණු අප්‍රිකාව සිව්වරක් රග්බි ලෝක කුසලානය දිනාගෙන ඇති අතර ඔවුන් වාර්තා අතරට එක්වූයේ වැඩිම වාර ගණනක් රග්බි ලෝක කුසලානය ජයගත් කණ්ඩායම ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *