2025 ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගි වන ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට පිවිසීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද සමත් වුණා.
ඒ ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් මැලේසියාවට එරෙහිව පැවති තරගය ලකුණු 59ට 19ක් ලෙස ජය ගනිමින්.
ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය අද පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදීයි.
ෆීජි ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළුව විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ක්‍රීඩා කළ මැලේසියා කණ්ඩායමට ආරම්භයේ සිට ප්‍රබල අන්හියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.
එහි ප්‍රතිපලයක් ලෙස පළමු අර්ධයේදී ගෝල දිනුම් 4ක් සහ උත්සාහක දිනුමක් සමගින් ශ්‍රී ලංකාව ලකුණු 33ක් රැස් කරද්දී මැලේසියා කණ්ඩායමට රැස් කරගත හැකිවූයේ ලකුණු 7ක් පමණයි.
දෙවන අර්ධයේද සුපිරි ක්‍රීඩා විලාශක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම අර්ධයේදී ලකුණු 26ක් රැස් කරද්දී මැලේසියාව ලබා ගත්තේ ලකුණු 12ක් පමණයි.
ඒ අනුව මෙම තීරණාත්මක තරගය ලකුණු 59ට 19ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව සමත්වුණා.
ශ්‍රී ලංකාව ලකුණු 59 රැස් කළේ උත්සාහක දිනුම් 9ක් සහ ප්‍රවර්තන 7ක් සාර්ථක කර ගනිමින්.
මැලේසියාව උත්සාහක දිනුම් 3ක් සහ ප්‍රවර්ධන 2ක් සාර්ථක කර ගනිමින් ලකුණු 19 රැස් කළා.
ඒ අනුව මෙම තරගය ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම 2025 ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගි වන ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට පිවිසියා.
2025 ආසියානු රග්බි ශුරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ දකුණු කොරියාව සමගින් තරග වැදීමට නියමිතයි.
එහි ශූරතාව දිනා ගන්නා කණ්ඩායම 2027 රග්බි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇති.
