ආසියානු යොවුන් මලල ක්‍රීඩා උලෙළේ ඉසව් කිහිපයක අවසන් තරග ඊයේ පැවැති අතර එහිදී බාලිකා මීටර 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සහභාගි වුණා.
එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් තරුෂි තරගය නිමකළේ, මිනිත්තු 2යි තත්පර 14යි දශම 8යි 6කින්.
මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම ද මෙය වනවා.
බාලක මීටර 800 ධාවන ඉසව්වේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශවිඳු අවිශ්ක සහභාගි වූ අතර ඔහු එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.
තරගයේ අවසන් මීටර 50 තෙක්ම අවිශ්ක පෙරමුණේ පසු වූ අතර තියුණු තරගයකින් පසු අවසන් මොහොතේ ඔහුට ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවුණා.
අවිශ්කගේ තරග නිමිකාලය මිනිත්තු 01යි තත්පර 53යි දශම 4යි එකක්.
බාලක උස පැනීමේ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ පවන් නෙත්යා සම්පත් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.
ඒ මීටර 2යි දශම 3ක දක්ෂතාවක් දක්වමින්.
කාන්තා තුන්පිම්ම ඉසව්වට එක් වූ දිල්කි නෙහාරා ද එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනාදුන්නා.
මේ අතර බාලිකා මිශ්‍ර සහය දිවීමේ තරගයේ රිදී පදක්ක දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ඒ මිනිත්තු 2යි තත්පර 14යි දශම 2යි 5ක දක්ෂතාවක් දක්වමින්.
මෙය නව යොවුන් ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස ද සටහන් වුණා.
ඒ අනුව සෞදි අරාබියේ පැවැති 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ථ පදක්කම් 8ක් දිනාගැනීමට සමත්වුණා.
ආසියානු යොවුන් මලල ක්‍රීඩා උලෙළේ පළමු ස්ථානය චීනය දිනාගත් අතර දෙවන ස්ථානය හිමිකරගත්තේ ජපානයයි.
ශ්‍රී ලංකාවට සමස්ථ පදක්කම් සටහනේ 9වැනි ස්ථානය හිමිකරගත්තා.
