ඉන්ටනැෂනල් මාස්ටර්ස් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට සචින් ටෙන්ඩුල්කාර් ප්‍රමුඛ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් මහ තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින්.
කණ්ඩායම් 6ක් එක් කුසලානයක් වෙනුවෙන් තරගවැඳුණු ඉන්ටනැෂනල් මාස්ටර්ස් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ සචින් ටෙන්ඩුල්කාර් නායකත්වය දරණ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම සහ බ්‍රයන් ලාරා නායකත්වය දැරූ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායමයි.
රායිපූර් හී පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක බ්‍රයන් ලාරා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 148ක් රැස්කළා.
ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 57ක් සහ ඩ්වේන් ස්මිත් ලකුණු 45ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී විනය කුමාර් කඩුලු 3ක් සහ ෂාබාස් නදීම් කඩුලු 2ක් බිඳ හෙලුවා.
ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී තරගය ජය ගත්තා.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ අම්බති රයිදු ලකුණු 74ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන ගියා.
නායක සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 25යි.
අවසන් තරගයේ වීරයා ලෙස අම්බති රයිදු සම්මාන දිනාගත්තා.
