වසර 6කට පසු ශා. තෝමස් නිල් මහා සටන දිනයි – VIDEO

අවසන් දිනය නිමා වීමට පන්දුවාර දෙකක් පමණක් තිබියදී කොළඹ රාජකීය විද්‍යාලය පරදා මෙවර නිල්මහ සටන ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අද සමත්වුණා.

ඔවුන් මෙලෙස නිල් මහ සටන මහා ක්‍රිකට් තරගයක් ජය ගත්තේ වසර 6කට පසුවයි.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම මහ ක්‍රිකට් තරගය වන 146වැනි නිල් මහ සටන ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 302ක්.

ලකුණු 17ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ඇරඹූ කොළඹ රාජකීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමින්.

සුපිරි පන්දුයැවීමක නිරත වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඩේරියන් දියේගෝ අද කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර ඔහු ලකුණු 40කට කඩුලු 5ක් දවා ගත්තා.

ලකුණු 233ක ඉලක්කයක් හඹාගිය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ වසර 6කට පසු නිල් මහ සටන ජය ගනිමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *