ඉන්ටර් නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා මාස්ටර්ස් පිලේ ෂේන් වොට්සන් සමත්වුණා.
ඒ පන්දු 52කදී ලකුණු 107ක් රැස් කරමින්.
කෙසේ වෙතත් මෙම තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කළේ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායමයි.
නවි මුම්බායි හිදි පැවැත් මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 216ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ෂේන් වොට්සන් අතීතය යළි සිහිගන්වමින් පන්දු 52කදී ලකුණු 107ක් රැස් කිරීමට සමත්වුණා.
වොට්සන්ගේ ඉනිම හයේ පහර 9කින් සහ හතරේ පහර 9කින් වර්ණවත් වුණා.
ඩැනියෙල් ක්‍රිස්ටියන් ලකුණු 32යි.
පන්දුයැවීමේදී ඇෂ්ලි නර්ස් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා.
ලකුණු 217 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොදෙව් මාස්ටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල ආරම්භ කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක ගොඩනැගුවා.
ඩ්වේයින් ස්මිත් ලකුණු 51ක් රැස් කළා.
ක්‍රිස්ගේල් රැස් කළේ ලකුණු 11ක් පමණයි.
අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ඉනිමක් දියත් කළ ලෙන්ඩ්ලි සිමන්ස් ඔස්ට්‍රේලියා මාස්ටර් පිල අත තිබූ ජයග්‍රහණය සිය කණ්ඩායම දෙසට හරවන්නට සමත්වුණා.
ඒ පන්දු 44කදී නොදැවී ලකුණු 94ක් රැස් කරමින්.
ඒ අනුව පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගිය කොදෙව් මාස්ටර්ස කණ්ඩායම කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කළා.
