ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා භාර ගැනීම ඊයේ පස්වරු 3.30ට අවසන් වූ අතර, ඒ සම්බන්ධ විරෝධතා මේ 29 වැනිදා නිමාවට පත්වේ. විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය ඇතුළු පංච පුද්ගල නිලවරණ කමිටුවක් විසින් ක්‍රිකට් ඡන්ද විමසීමේ නාමයෝජනා භාරගත් අතර, එදින සිට දින 7ක කාලයක් විරෝධතාවලට අවස්ථාව ලබා දී තිබෙනවා.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ අවසන් නාමයෝජනා ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීම නිලවරණ කමිටුව මඟින් සිදු කරනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ නව සංශෝධනවලට යටත්ව මෙවර ඡන්ද විමසීම මාර්තු 31 වැනිදා පැවැත්වීමට නිලවරණ කමිටුව තීරණය කොට ඇති අතර, ඒ වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද ගණන 60ක් දක්වා පහත හෙළා තිබෙනවා.
බොහෝ කලක සිට ක්‍රිකට් නිලවරණයේදී භාවිතා වන ඡන්ද ගණන පිළිබඳ මත පළවූ හෙයින් ඒ පිළිබඳ සැලකිලිමත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පසුගියදා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයක් සිදු කරමින් ඡන්ද හිමි සාමාජික සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීමට පියවර ගෙන මේ නිලවරණය පැවැත්වීම විශේෂත්වයක්.
මෙවර ද ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ පාර්ශ්වය තරග බිමට පිවිස සිටින අතර, වෙනත් කිසිදු ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් නාමයෝජනා ලබාදී නැහැ.
සභාපති තනතුරට ෂම්මි සිල්වා මහතාගේ නාමයෝජනාව ක්‍රීඩා සංගම් 50කින් යෝජනා ස්ථීර කොට ඇති අතර, මෙයට පෙර පැවති නිලවරණයේදී ඡන්ද විමසීමකින් තොරව සභාපති තනතුරට ඒ මහතා නිතරයෙන් තේරී පත්වුණා.
