ආසියාවේ ලොකුම ක්‍රිකට් පුටුවට ආ ශම්මි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ඉකුත්දා පත් කළා.

ආසියානු ක්‍රිකට් සභාපති ධුරයේ කටයුතු කළ ඉන්දියාවේ ජේ ෂා මහතා අයිසීසී සභාපති ලෙස පත්වීමෙන් අනතුරුව ශම්මි සිල්වා මහතාට මේ අවස්ථාව වුණා.

ශම්මි සිල්වා මහතා වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම මෙන්ම විශ්වාසවන්ත නිලධාරියකු බැවින් මේ අවස්ථාව ලබාදීමට සියලු සාමාජිකයන්ගේ එකඟතාව හිමිව තිබෙනවා..

කොළඹ නාලන්දා විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ශම්මි සිල්වා මහතා 1980දී නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ නයකත්වය දැරූ අතර, පසුව සීසීසී පිලෙන් පළමු පෙළ තරගවලට පිවිසියා.

පාසල් කාලයේදී යගුළිය දැමීම, කවපෙත්ත විසි කිරීම හා හෙල්ල විසි කිරීමේ වාර්තා බිහි කළ ඒ මහතා පසුව ස්කොෂ් ක්‍රීඩාවට පිවිස ශ්‍රී ලංකා වර්ණ දිනා ගත් සුවිශේෂී ක්‍රීඩකයෙක්.

ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නායකත්වය ලැබීම ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් බවත්. ආසියාවේ හදගැස්ම වන ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීම හා නැඟී එන දක්ෂතාවලට අවස්ථාව ලබාදීම වෙනුවෙන් සියලු සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීම තම අපේක්ෂාව බවයි නව තනතුරේ වැඩ අරඹමින් ශම්මි සිල්වා මහතා පැවසුවේ.

වසර 1983 සැප්තැම්බර් 19 වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පිහිටුවූ ආසියානු ක්‍රිකට් සම්මේලනයේ වත්මන් සාමාජික රටවල් ගණන 30ක් වන අතර, ප්‍රධාන කාර්යාලය ඩුබායිහි පිහිටා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *