අඛණ්ඩව තුන්වැනි වරටත් අබුඩාබි ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහීෂ් තීක්ෂණ නියෝජනය කළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී චරිත් අසලංක සහ ඉසුරු උදාන නියෝජනය කළ මොරිස්විල් සෑම්ප් ආමි කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්.
මෙවර අබුඩාබි ටී ටෙන් තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වුණේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ මොරිස්විල් සෑම්ප් ආමි කණ්ඩායම අතරයි.
මෙම තරගයේදී මහීෂ් තීක්ෂණ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ අතර චරිත් අසලංක සහ ඉසුරු උදාන මොරිස්විල් සෑම්ප් ආමි කණ්ඩායම නියෝජනය කළා.
පළමුවෙන් පන්දුවට පහරදුන් මොරිස්විල් සෑම්ප් ආමි කණ්ඩායම නියමිත පන්දුවාර 10දී කඩුලු 7ක් දැවී 104ක් රැස් කිරීමට සමත්වුණා.
ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 34ක් රැස් කළ අතර අන්ද්‍රෙස් ගෝස් ලකුණු 21ක් රැස් කළා.
චරිත් අසලංක ලකුණු 13ක් රැස් කර සිටියදී දුවද්දී දැවී ගියා.
පන්දුයැවීමේදී රිචඩ් ග්ලෙසන් කඩුලු 2ක් දවා ගත් අතර මහිෂ් තීක්ෂණ ලකුණු 20කට එක් කඩුල්ලක් දවා ගත්තා.
ලකුණු 105ක ඉලක්කයක් හඹා ගිය ඩෙකෑන් ග්ලැඩියේඩර්ස් කණ්ඩායම පන්දුවාර 6යි පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී එම ජයග්‍රාහී සීමාව පසුකර ගියා.
ටොම් කොලර් කැඩ්මෝ පන්දු 21කදී නොදැවී ලකුණු 56ක් රැස් කළ අතර නායක නිකොලස් පූරන් පන්දු 10කදී ලකුණු 28ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජය මාවත විවර කළා.
පන්දුයැවීමේදී ඉසුරු උදාන කඩුල්ලක් දවා ගත්තා.
ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 8ක් දවා ගත් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අඛණ්ව 3වැනි වරටත් අඩුබාඩි ටී ටෙන් තරගාවලිය සිය දෝතට ගත්තා.
