ද. අප්‍රිකාව ලකුණු 281ක් ඉදිරියෙන් – කුසල්ගෙන් බින්දු වාර්තාවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

දිනය නිමාවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 281ක්.

අද දිනය අරඹන විට දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 4ක් දැවි ලකුණු 80ක් ලබා සිටියා.

අද දිනයේදි ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමා කළා.

අනතුරුව පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ශ්‍රී ලංකා මුල් පිතිකරුවන් තිදෙනා ලකුණු 9ක් තුළ යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වුණා.

එම රිද්මය අත්නොහල දකුණු අප්‍රිකා වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකා පිලේ ඉතිරි කඩුලු 7 ලකුණු 33ක් තුළ දවා ගත්තේ ශ්‍රී ලංකා පළමු ඉනිම සුනු විසුනු කරමින්.

ක්‍රීඩකයින් 5 දෙනෙකුම ලකුණු නොලබා දැවී ගිය අතර කුසල මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියේ දකුනු අප්‍රිකාවේදී පිට පිට ඉනිම් 4කදී ලකුණු නොබලා දැවී ගිය පළමු පිතිකරුවා ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමා වූ අතර එය වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකා පිල ටෙස්ට් ඉනිමක වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ශ්‍රී ලංකා පිල මීට පෙර ටෙස්ට් ඉනිමක අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබුණේ 1994 වසරේදී පාකිස්තානය හමුවේ ලකුණු 71කට දැවී යමින්.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ගිය අතර එය ටෙස්ට් ඉනිමකදී කණ්ඩායමක් ක්‍රීඩා කළ දෙවන අඩුම පන්දුවාර සංඛ්‍යාවද වනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු 10 සීමාව පසු කළේ කමිඳු මෙන්ඩිස් සහ ලහිරු කුමාර පමණක් වන අතර සුපිරි පන්දුයැවීමක නිරත වූ මාර්කෝ ජැන්සන් ලකුණු 13කට කඩුලු 7ක් දවා ගත්තා.

ලකුණු 149ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹු දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් කඩුලු කඩුලු 3 ලකුණු 89ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙකක් දවා ගත් අතර ඒ අනුව ඔහු වාර්තා අතරට එක් වුණේ අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 100ක් දවා ගත් ලොව දෙවන පන්දුයවන්නා ලෙසයි.

33 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් කඩුලු 100ක් දවා ගැනීමට වැය කර තිබුණේ ටෙස්ට් තරග 17ක් පමණක් වන අතර ඔහු වාර්තා අතරට එක් වූයේ එම කඩඉම පසු කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි.

ඒ අනුව දෙවන දිනය නිමාවන විට දකුණු අප්‍රිකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *