ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය හෙට ඩර්බන්හිදි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩර්බන් හිදි හෙට ආරම්භ වනවා.

තරගය මෙරට වේලාවෙන් හෙට පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේයි.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට දෙපිලටම මෙම තරගාවලියේ ජය තීරණාත්මක වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වන විට අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාව එම සටහනේ පසුවන්නේ 5 වැනි ස්ථානයේයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දක්වා ටෙස්ට් තරග 31ක් පවත්වා ඇති අතර ඉන් තරග 16ක් දකුණු අප්‍රිකාව ජය ගනිද්දී තරග 6ක් ශ්‍රී ලංකාව ජය ගත්තා.

දෙරට මේ දක්වා ටෙස්ට් තරගාවලි 13ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 8ක් දකුණු අප්‍රිකාව ජය ගත් අතර ශ්‍රී ලංකාව තරගාවලි 4ක් ජය ගැනීමට සමත්වුණා.

දෙරට අතර මේ දක්වා ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත්තේ එක් ටෙස්ට් තරගාවලියක් පමණයි.

මේ දක්වා දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග 17කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 3ක ජය වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාව සිය මව්බිමේදී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 13ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *