2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සෞදියේ ජෙඩා නුවරදී ඊයේ සාර්ථකව අවසන් වුණා.
එම වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනෙක් කණ්ඩායම් විසින් මිලදී ගැනීම කැපී පෙනුණා.
මේ අතර මෙවර වෙන්දේසියේදී සිදුවූ සුවිශේෂීම සිදුවීම වූයේ 13 හැවිරිදි ඉන්දීය පාසල් ක්‍රීඩකයෙක් වන විභව් සූර්යවංශිව රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගැනීමයි.
2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දින දෙකක් පුරා සෞදියේ ජෙඩා නුවරදී සාර්ථකව පැවැත්වුණා.
එහිදි වනිඳු හසරංගව ඉන්දිය රුපියල් කෝටි 5යි දශම 25කට මුදලකට සහ මහිෂ් තීක්ෂණව ඉන්දීය රුපියල් කෝටි 4යි දශම 40ක මුදලකට මිලදී ගත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.
ගියවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරව ඉන්දීය රුපියල් කෝටි 1යි දශම 6ක මුදලකට රෝයල් චැලෙන්ජස්ර් බැංග්ලෝර් කණ්ඩායම මිලදි ගත්තා.
ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් වැය කරමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දුෂ්මන්ත චමීරව මිලදී ගත් අතර
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් මුදලකට කමිඳු මෙන්ඩිස්ව මිලදී ගත්තා.
ඉන්දීය රුපියල් ලක්ෂ 30ක ලංසුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා නවක වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගව ඉන්දීය රුපියල් කෝටි 1 දශම 2කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගත්තා.
එෂාන් මාලිංග 2019 වසරේ ටී.වි දෙරණ මගින් නිෂ්පාදනය කළ එයාර්ටෙල් ෆාස්ටස් බෝලර් වැඩසටහනේ ජයග්‍රාහකයා බවට පත්වෙමින් කාගේත් අවධානය දිනාගත් ක්‍රීඩකයෙක් බවට පත්වුණා.
මේ අතර මෙවර වෙන්දේසියේ සුවිශේෂීම සිදුවීම ලෙසින් 13 හැවිරිදි ඉන්දීය පාසල් ක්‍රීඩකයෙක් වන විභව් සූර්යවංශිව රාජස්තාන රෝයල්ස් කණ්ඩායම මිලදී ගත් අතර අයි.පී.එල් වෙන්දේසීයකදී අලෙවි වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසින් ඔහු වාර්තා අතරට එක්වුණා.
ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මූලික ලංසුවකට වෙන්දේසියට ඉදිරිපත් කළ අතර විභව් සූර්යවංශිව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලදී ගත්තේ ඉන්දිය රුපියල් එක්කෝටි දසලක්ෂයක මුදලකටයි.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය නියෝජනය කරන පාසල් ක්‍රීඩකයෙක් වන 13 හැවිරිදි විභව් සූර්යවංශි ක්‍රිකට් ලෝකයේ අවධානයට ලක්වුණේ ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම සහ ඉන්දියා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම අතර පැවති තරගයකදී පන්දු 58කින් වේගවත් ශතකයක් රැස් කිරීමත් සමගයි.
2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
