වසර 7කට පසුව අද ඇරඹි හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ මූලික වටයේදී තමන් සහභාගි වූ තරග දෙකම ජය ගනිමින්.
වසර 7කට පසු ආරම්භ වූ මෙවර හොංකොං සික්සර්ස් තරගාවලියට රටවල් 12ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදිනවා.
තරගාවලියට D කාණ්ඩයෙන් එක් වූ ශ්‍රී ලංකාව පළමු තරගයේදී ක්‍රීඩා කළේ, ඕමානයට එරෙහිවයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමානය නියමිත පන්දුවාර 6 අවසානයේදී කඩුුලු දෙකක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 80ක්.
ලකුණු 81ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4 යි එක් පන්දුවකදී කඩුලු 2ක් පමණක් දැවි එම ඉලක්කය පසුකර ගියා.
සඳුන් වීරක්කොඩි පන්දු 7කදී ලකුණු 28ක් රැස්කළේ හතරේ පහරක් සහ හයේ පහර 4ක් ද සමගින්.
පන්දු 6කදී ලකුණු 20ක් රැස්කළ ලහිරු සමරකෝන්ගේ ඉනිමට හයේ පහර තුනක් ඇතුළත් වුණා.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය පැවැත්වුණේ බංග්ලදේශ කණ්ඩායමට එරෙහිවයි.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 107ක් රැස්කළා.
නායක ලහිරු මධුසංඛ පන්දු 17කදී නොදැවී ලකුණු 48ක් ලබාගත්තේ, හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගින්.
පන්දු 12කදී ලකුණු 32ක් රැස්කළ තනුක දාබරේගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වුණා.
ලකුණු 108ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 6දී කඩුලු 3ක් දැවී රැස්කර ගත්තේ, ලකුණු 89ක් පමණයි.
මෙම තරගය ලකුණු 18කින් ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගත්තා.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව එහිදී නේපාලයට එරෙහිව තරග වැදීමට නියමිතයි.
