හර්ෂිතා සහ දුනිත් ICC සම්මානයකට නිර්දේශ වෙයි

අගෝස්තු මස ICC දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ෂිතා මාධවී නිර්දේශ වී තිබෙනවා.

ඒ ඇය අයර්ලන්ත තරග සංචාරයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සෑම මාසයකම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාව සහ ක්‍රීඩකයා නම් කරන අතර ඒ අනුව ආගෝස්තු මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ ක්‍රීඩිකාවන් තිදෙනා එම කවුන්සිලය විසින් ඊයේ නිවේදනය කළා.

ඒ අනුව හර්ෂිතා මාධවී සමගින් ICC අගෝස්තු මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වී සිටින්නේ අයර්ලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනක්.

හර්ෂිතා මාධවී මෙම සම්මානය සඳහා නිර්දේ්‍ශ වී ඇත්තේ අයර්ලන්තය සමග පැවැති එක්දින සහ 20-20 තරගාවලියේදී පිත්තෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන්.

හර්ෂිතා මාධවී අයර්ලන්තයට එරෙහිව පැවති 20-20 තරග දෙකේදී අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට සමත් වූ අතර ඇය එක්දින තරගාවලියේදී අර්ධ ශතකයක් සහ ශතකයක් වාර්තා කරමින් පිත්තෙන් කැපී පෙනන දක්ෂතා දැක්වූවා.

මේ අතර අගෝස්තු මස ICC දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලියේ දී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අගෝස්තු මාසයේ දක්ෂතම ක්‍රීඩකයා සඳහා නිර්දේශ වූ ක්‍රීඩකයින් තිදෙනා අද නිවේදනය කළා.

ඒ අනුව එම නිර්දේශිත නාමයන් අතරට එක්වන ඇත්තේ ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ, දකුණු අප්‍රිකාවේ කේෂව් මහාරාජ් සහ කොදෙව් ක්‍රීඩක ජේඩ්න් සීල්ස්.

දුනිත් වෙල්ලාලගේ ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයේ නොදැවී ලකුණු 67ක් සහ දෙවැනි එක්දින තරගයේ ලකුණු 37ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වුවා.

එමෙන්ම ඔහු ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයේදී කඩුලු දෙකක් දවා ගත් අතර තුන්වැනි එක්දින තරගයේදී සුපිරි පන්දුයැවීමක නිරතවෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත්වුණා.

මෙම තරගාවලියේදී තුන් ඉරියව්වෙන් දස්කම් දැක් වු දුනිත් වෙල්ලාලගේ තරගාවලියේ වීරයා සම්මානයද දිනාගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *