සම්මු අෂාන් ACE කැපිටල් පිලට ශූරතාව දිනාදෙයි

අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තනුක දාබරේ නායකත්වයෙන් යුතු ඒස් කැපිටල් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.

ඒ අවසන් මහා තරගයේදී ප්‍රබල සී සී සී කණ්ඩායම කඩුලු 4ක ජයක් වාර්තා කරමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ ඒස් කැපිටල්ස් කණ්ඩායම සහ සී සී සී ක්‍රීඩා සමාජය අතරයි.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සී සී සී කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කිරීමට සමත්වුණා.

ඉසුරු උදාන ලකුණු 80ක් රැස් කළ අතර ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 33ක් සහ අන්ජල බණ්ඩාර ලකුණු 29ක් රැස් කළා.

පන්දුයැවීමේදී නිම්සර අතරගල්ල ලකුණු 55කට කඩුලු 3ක් දවා ගත් අතර වනුජ සහන් ලකුණු 47කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා.

ලකුණු 252ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඒස් කැපිටල් කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

ඒස් කැපිටල් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය සම්මු අශාන් නොදැවී ලකුණු 97ක් සහ නායක තනුක දාබරේ ලකුණු 48ක් රැස් කළ අතර පන්දු යැවීමේදී ඉසුරු උදාන සහ සොනාල් දිනූෂ කඩුලු 2ක බැගින් දවා ගත්තා.

ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කළ ඒස් කැපිටල් කණ්ඩායම මෙවර අන්තර් සමාජ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ කුසලානය සමග ලක්ෂ 30ක මුදල් ත්‍යාගයක්ද හිමිකර ගනිමින්.

අවසන් තරගයේ වීරයා සම්මු අශාන්.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස නිගම්බු කණ්ඩායමේ ඩිල්ෂාන් මුණවීර සම්මාන දිනා ගත්තා.

දක්ෂතම පිතිකරුවා ලෙස කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා සමාජයෙ ක්‍රිෂාන් සංජුල සම්මාන දිනා ගත් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ කඩුලු 14ක් සහ ලකුණූ 221ක් රැස් කළ ඒස් කැපිටල් කණ්ඩායමේ නායක තනුක දාබරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනන විධායක කමිටු සාමාජික සහ තරගාවලි සංවිධාන කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංකේත ප්‍රධානයේදී ශූරතාව දිනූ ඒස් කැපිටල් පිලට ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 30 ක මුදලක් ද අනුශූරතාවට පත් සී.සී.සී. ක්‍රීඩා සමාජයට මුදලින් රුපියල් ලක්ෂ 25 ක මුදලක්ද පිරිනැමුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *