මීටර 5000 කාන්තා ඉසව්වෙන් ඔලිම්පික් තරග බිම උණුසුම්වෙයි

ඊයේ රාත්‍රියේ පැවති කාන්තා මීටර පන්දහස ඉසව්ව ඉතා ආන්දෝලනාත්මක තරග ඉසව්වක් බවට පත්වුණා.

එම ඉසව්ව මිනිත්තු 14යි තත්පර 28යි දශම 5යි 6කින් නිමකළ කෙන්යාවේ බියට්‍රිස් චෙබට් රන් පදක්කම හිමිකර ගත්තා.

රිදී පදක්කම කෙන්යාවේ ෆේත් කිප්යෙගෝන් හිමිකරගත් අතර ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ නෙදර්ලන්තයේ සිෆාන් හසන්.

කෙසේ වෙතත් රිදී පදක්කම දිනූ ෆේත් කිප්යෙගෝන්, කාන්තා මීටර 5000 ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ගුදාෆ් සෙගායිගේ ධාවනයට බාධා කළ බව පවසමින් ගුදාෆ් සෙගායි විරෝධතාවක් ගොනු කර තිබුණේ තරගය අවසන් වීමෙන් අනතුරුවයි.

එම විරෝධතාව සලකා බැලූ තරග සංවිධායකින් ෆේත් කිප්යෙගෝන්ට රිදී පදක්කම අහිමි කිරීමට තීරණය කර තිබුණේ මංතීරු නීතිය උල්ලංඝණය කිරීම සහ ධාවනයට බාධා එල්ල කිරීම යන සාධක පදනම් කරගනිමින්.

නමුත් කෙන්යා මලල ක්‍රීඩා සංගමය නැවතත් එම තීරණය අභියෝගයට ලක්කරමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.

අදාල සිදුවීම පිලිබඳ පරීක්ෂණයක් සිදුකළ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ විශේෂ ජූරි සභාව, ෆේත් කිප්යෙගෝන් අතින් වරදක් සිදුවී නොමැති බව තීන්දු කරමින් ඇයට නැවතත් රිදී පදක්කම ලබාදෙන ලෙස පැරිස් ඔලිම්පික් තරග සංවිධායකයින්ට දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *