ජෙෆ්රි වැන්ඩර්සේගේ සහ නායක චරිත් අසලංකගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් වසර 3කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරග ජයක් ලැබීමට ශ්රී ලංකාවට ඊයේ හැකිවුණා.
දෙරට අතර පැවති දෙවැනි එක්දින තරගය ලකුණු 32කින් ජයගත් ශ්රී ලංකාව තරගාවලියේ පෙරමුණ ගත්තේ තරග 1ට 0ක් ලෙසයි.
වනිඳු හසරංග සහ මොහොමඩ් ශිරාස් වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ සහ කමිඳු මෙන්ඩිස් කැඳවමින් ඊයේ තරගයට සහභාගි වූ ශ්රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
වර්තමානයේ ලකුණු අතර සිටින පිතිකරුවාවන පැතුම් නිස්සංක ශ්රී ලංකා පළමු කඩුල්ල ලෙස ඉනිමේ පළමු පන්දුවේදීම දැවී ගියත්, කුසල් මෙන්ඩිස් අවිශ්ක ප්රනාන්දු සමග ගොඩනැගූ සබඳතාව සහ දුනිත් වෙල්ලාලගේ කමිඳු මෙන්ඩිස් සමග එක්ව ගොඩනැගූ සබඳතාව හේතුවෙන් ශ්රී ලංකාවට ගෞරවනීය ලකුණු පුවරුවක් නිර්මාණය කළ හැකිවුණා.
අවිශ්ක ප්රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 40 බැගින් රැස්කළා.
ඒ අනුව ශ්රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්යාව 240ක්.
ලකුණු 241ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් පළමු කඩුල්ලට ලකුණු 97ක සබඳතාවක් ගොඩනැගුවා.
නමුත් වනිඳු හසරංග වෙනුවට කණ්ඩායමට කැඳවූ ජෙෆ්රි වැන්ඩසේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්රෙයා්ජන ලබාගත්තේ ඉන්දීය ඉනිමේ පළමු කඩුළු 6ම දවාගනිමින්.
ශ්රී ලංකා දඟපන්දු යවන්නන්ගෙන් එල්ල වූ පීඩනයට මුහුණ දීමට අපොහොසත් වූ ඉන්දියා කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 2ක් අවසානයේ සියළුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 208ක් පමණයි.
ඒ අනුව වසර 3කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින ජයක් ලැබූ ශ්රී ලංකාව මෙම තරගාවලිය 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුණා.
