ඉතිහාසයේ තියුණුම පිරිමි 100m තරගය

ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළ දරමින් පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට අමෙරිකාවේ නෝආ ලයිල්ස් සමත් වුණා.

අද අලුයම පැවති පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගය හැඳින්වූයේ ඉතිහාසයේ අතිශය තියුණුම පිරිමි මීටර 100 අවසන් තරගය ලෙසයි.

ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳීමේ අරමුණෙන් වත්මන් මලල ක්‍රීඩා පිටියේ කගවේනුන් ලෙසින් සැලකෙන සුපිරි ක්‍රීඩකයින් 8 දෙනෙක් පැරිස් ඔලිම්පික් උලෙළේ අවසන් මහා තරගයට සහභාගි වුණා.

ඔලිම්පික් ඉසව් අතරින් වැඩිම අවධානයක් දිනාගන්නා පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගනු ඇතැයි බලාපොරොත්තු වූ ක්‍රීඩකයින් අතරින් ඉදිරියෙන්ම සිටියේ අමෙරිකාවේ නොආ ලයිල්ස්, ෆෙඩ් කර්ලි, ජැමෙයිකාවේ කිෂේන් තොම්සන් සහ ඔබ්ලික් සෙවිල්.

එකිනෙකාට නොදෙවෙනි ධාවනයක යෙදුනු ක්‍රීඩකයින් 8දෙනා තත්පර 10ට අඩුවෙන් ඉසව්ව නිමකිරීම කැපී පෙනුණා.

ඒ අතරින් අමෙරිකාවේ නෝආ ලයිල්ස් සහ ජමෙයිකාවේ කිෂේන් තොම්සන් යන දෙදෙනාම තත්පර 9යි දශම 7යි 9ක කාලයකින් ඉසව්ව නිමකර තිබූ හෙයින් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා තත්පරයෙන් දාහෙන් පංගුවකින් කාලය ගණනය කෙරුණා.

ඒ අනුව තත්පර 9යි දශම 7යි 8යි 4කින් ඉසව්ව නිමකළ වත්මන් ලෝක ශූරයා වන නෝආ ලයිල්ස් රන් පදක්කම හිමිකර ගත්තා.

මීටර 100 ධාවන ඉසව්වකදී ක්‍රීඩකයින් 8 දෙනාම තත්පර 10ට අඩුවෙන් තරගය නිමකළ පළමු අවස්ථාව මෙය වන අතර අමෙරිකානු ධාවකයෙක් මීටර 100 රන් පදක්කම හිමිකර ගත්තේ වසර 20කට පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *