රයිලි රෝසෝගේ සහ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් සිව්වන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් කිරුළ හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ පස්වන වරට පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ගෝල් මාවල්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත්කරමින්.
සිව්වන වරටත් LPL ශූරයන් වීමේ බලාපොරොත්තුවෙන් චරිත් අසලංකගේ නායකත්වයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසි අතර නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් ගෝල් මාවල්ස් කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසුණේ සිය කුළුදුල් LPL ශූරතාව හිමිකරගැනීමේ අරමුණෙන්.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ගෝල් මාවල්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ගෝල් මාවල්ස් කණ්ඩායමට ජැෆ්නා පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකිවූයේ නැහැ.
පළමු පන්දුවාර 10 අවසන් වනවිට ගෝල් කණ්ඩායම කඩුළු 3ක් දැවී රැස්කරගෙන සිටියේ ලකුණු 48ක් පමණයි.
නමුත් සිව්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ භානුක රාජපක්ෂ සහ ටිම් සයිෆට් ගෝල් ඉනිම උඩුයටිකුරු කිරීමට සමත් වුණා.
ටිම් සයිෆර්ට් පන්දු 37කදී ලකුණු 47ක් රැස්කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 34කදී ලකුණු 82ක් රැස්කළේ හතරේ පහර 8ක් හයේ පහර 6ක් සමගින්.
ගෝල් කණ්ඩායම අවසන් පන්දුවාර 10දී ලකුණු 136ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව ගෝල් මාවල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 184ක්.
අවසන් මහා තරගයේ පළමු ඉනිමෙන් අනතුරුව අලංකාර ඩ්‍රෝන සංදර්ශනයක් පැවැත්වුණේ තරගය නැරඹීමට පැමිණ සිටි ක්‍රීඩාලෝලීන්ට නවමු අත්දැකීමක් ලබාදෙමින්.
අනතුරුව ලකුණු 185ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවේදීම දැවීගියා.
නමුත් කුසල් මෙන්ඩිස් සමග දෙවන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ රයිලි රෝසෝව් ලකුණු 185ක නොබිඳුනු අගනා සබඳතාවක් ගොඩනගමින් පන්දුවාර 15 යි පන්දු 4කදී එක් කඩුල්ලක් පමණක් දැවි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ජය්‍රගහාණය කරා රැගෙන ගියා.
මෙම සබඳතාව වාර්තා අතරට එක්වූයේ ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද හොඳම සබඳතාව ලෙසයි.
එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ රයිලි රෝසෝව් පන්දු 53 කදී නොදැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 106ක්.
කුසල් මෙන්ඩිස් පන්දු 40කදී නොදැවී ලකුණු 72ක් රැස්කළා.
ඒ අනුව සිව්වන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව හිමිකරගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වූයේ එල්.පී.එල් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස තවදුරටත් සිය නාමය රඳවා ගනිමින්.
අවසන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ රයිලි රෝසෝව්ට හිමිවුණා.


