ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද වාර්තා අතරට එක් වුණා.
ඒ මැලේසියාවට එරෙහිව දඹුල්ලේ පැවති තරගයේදී නොදැවී ලකුණු 119ක් රැස් කරමින්.
මෙම තරගයෙන් ලකුණු 144ක දැවැන්ත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබා ගත්තා.
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස් කිරීමට සමත්වුණා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රීඩා කළ චමරි අතපත්තු සිය 20-20 ක්‍රිකට් දිවියේ තුන්වැනි ශතකය අද වාර්තා කළා.
පන්දු 69කදී චමරි නොදැවී ලකුණු 119ක් රැස් කළ අතර ඇගේ ඉනිම හයේ පහර 7කින් සහ 4 පහර 14කින් වර්ණවත් වුණා.
චමරි අද රැස් කළ ශතකය වාර්තා අතරට එක් වුණේ ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියක වාර්තා වූ පළමු ශතකය ලෙසයි.
ලකුණු 185ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මැලේසියා කාන්තා කණ්ඩායමට 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවීරැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 40ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 144ක ජයක් හිමි වූ අතර එය වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකා කාන්තා පිල 20-20 පිටියේ ලද දැවැන්තම ජයග්‍රහණය ලෙසයි.
