ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තුන්වැනි ජය වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 54කින් ජය ගනිමින්.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 222ක් රැස් කිරීමට සමත්වුණා.
මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ 20-20 තරගයක වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ඇන්ඩි ෆ්ලෙචර් ලකුණු 60ක් රැස් කළ අතර කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 51ක් රැස් කළා.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 23කදී නොදැවී ලකුණු 44ක් රැස් කළේ හයේ පහර 5ක් සමගින්.
පන්දුයැවීමේදී දුෂාන් හේමන්ත ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තා.
ලකුණු 223ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 168ක් පමණයි.
කුසල් ජනිත් පෙරේරා පන්දු 40කදී ලකුණු 74ක් රැස් කළ අතර ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 5කින් වර්ණවත් වුණා.
දඹුල්ල ඉනිම සුනු විසුනු කළ වනිඳු හසරංග ලකුණු 35කට කඩුලු 4ක් සහ දසුන් ශානක ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් කැන්ඩි ෆැල්කන්ස් පිලේ ජය තහවුරු කළා.
