මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා 25 හැවිරිදි අරුණ දර්ශන අද සුදුසුකම් ලබාගත්තා.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු ඔලිම්පික් උලෙළක මීටර 400 ඉසව්ව සඳහා මෙලෙස සුදුසුකම් ලබා ගත්තේ වසර 20කට පසුවයි.
මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමට ලබා දී තිබූ කාලසීමාව නිල වශයෙන් අද අවසන් වුණා.
ඒ අනුව ශ්‍රේණිගත කිරීම් අනුව පිරිමි මීටර 400 ඉසව්ව සඳහා ක්‍රීඩකයින් 48 දෙනෙකුට අවස්ථාව හිමි වන අතර ROAD TO PARIS ශ්‍රේණිගත කිරීම්වලට අනුව අරුණ දර්ශන පසු වුණේ 51 වැනි ස්ථානයේයි.
කෙසේ වෙතත් ලබාදී තිබූ සහන කාලයේදී ආබාධ සහ විවිධ හේතූන් මත ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉවත්වීමත් සමග අරුණට ඔලිම්පික් වරම් හිමි වූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අද තහවුරු කළා.
සේරුනුවර දුෂ්කර ගම්මානයකින් පැමිණ ඔලිම්පික් වරම් දිනූ අරුණ දර්ශන සේරුනුවර දෙහිවත්ත ශ්‍රී දෙහිවත්ත මහා විද්‍යාලයෙන් හා අකුරුම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලෙන් මලල ක්‍රීඩාවට අත්පොත් තැබුවා.
අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඔලිම්පික් උලෙළකදී මීටර 400 ඉසව්වකට එක් වූයේ 2004 වසරේදී වන අතර රොහාන් ප්‍රදීප් කුමාර එම අවස්ථාව හිමිකරගත්තා.
ඒ අනුව ඔහුගෙන් පසු වසර 20කට පසු අරුණ දර්ශන මීටර 400 ඉසව්ව සඳහා ඔලිම්පික් උලෙළකදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති.
මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු වරම් දිනා ගෙන ඇති අතර ඒ අනුව මලල ක්‍රීඩා ඉසව් සඳහා තරුෂි කරුණාරත්න, නදීෂා දිල්හානි සහ අරුණ දර්ශන සහභාගි වීමට නියමිතයි.
විරේන් නෙත්තසිංහ බැඩ්මින්ටන් කේවල තරග සඳහා ඔලිම්පික් වරම් දිනා ගත් අතර වයිල්ඩ් කාඩ් අවස්ථාව යටතේ පිහිනුම් ඉසව් සඳහා කයිල් අබේසිංහ සහ ගංගා සෙනෙවිරත්න සහභාගි වීමට නියමිතයි.
