මතීෂ පතිරණ කොළඹ දිනවයි

මෙවර එල් පී එල් තරගාවලියේ සිය දෙවන ජය වාර්තා කිරීමට කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කරමින්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වුනේ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදියි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 199ක් රැස් කිරීමට සමත්වුණා.

ග්ලේන් පිලිප්ස් පන්දු 43කදී ලකුණු 70ක් රැස් කළ අතර ඇන්ජලෝ පෙරේරා ලකුණු 28යි.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත් අතර සොරිෆුල් ඉස්ලාම් සහ නායක වනිඳු හසරංග කඩුලු දෙක බැගින් බිඳහෙළුවා.

ලකුණු 200ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 197ක් පමණයි.

මොහොමඩ් හැරිස් ලකුණු 56ක් සහ ඇන්ඩි රසල් ලකුණු 47ක් රැස්කළ අතර කමිඳු මෙන්ඩිස් පන්දු 16කදි ලකුණු 34ක් රැස් කළා.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 20ක් අවශ්‍යව තිබූ අතර එම පන්දුවාරයේ පළමු පන්දුවේදී චතුරංගද සිල්වා දවා ගැනීමට තිසර පෙරේරා සමත්වුණා.

අනතුරුව යොමු කළ පන්දු 3කට ලකුණූ 16ක් රැස් කරමින් ඇන්ජොල් මැතිව්ස් කැන්ඩි පිලට ජයග්‍රහණයේ බලාපොරාත්තුවක් රැගෙන ආවා.

ඒ අනුව අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් අවශ්‍යව තිබූ අතර එම පන්දුවේදී මැතිව්ස් දුවද්දී දැවීගියේ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 2ක තියුණූ ජයක් හිමිකර කර දෙමින්.

ලකුණු 26ට කඩුලු 4ක් දවාගත් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ මතීෂ පතිරණ තරගයේ වීරයා සම්මාන දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *