මලල ක්‍රීඩා නිලධාරීන් තරුෂිගේ ඔලිම්පික් සිහිනයට තිත තබයි ?

ලොව සෑම රටක්ම ඔලිම්පික් උලෙළට සහභාගි වීම සඳහා එම රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් සපයා දී, ඔවුන්ව දිරිගන්වන පසුබිමක, මෙරට ක්‍රීඩා බලධාරීන් සිදුකරන්නේ ඔලිම්පික් කඩඉම පෙනෙන මානයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ මං අහුරමින් ඔවුන්ට අකුල් හෙලීමයි.

මේ පුවත ඔලිම්පික් කඩඉම පෙනෙන මානයේ සිටින ශ්‍රී ලංකාවේ කැපීපෙනෙනම මලල ක්‍රීඩිකාව වන තරුෂි කරුණාරත්නට මෙරට මලල ක්‍රීඩා බලධාරීන් සිදුකළ අසාධාරණයක් පිලිබඳවයි.

එළඹෙන ජූලි මාසයේ ආරම්භවීමට නියමිත පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටම සපුරාගැනීමේ අරමුණ සහිතව මෙරට මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඊයේ දියගමදී අවසන් වූ 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වුණා.

ඔලිම්පික් කඩඉම ආසන්නයේ සිටින කාන්තා මීටර 800 ඉසව්වේ ආසියානු රන් පදක්කම් ලාභිනියවන තරුෂි කරුණාරත්නද ඒ අතර සිටියා.

පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙක් සුදුසුකම් ලැබීමට නියමිත අතර තරුෂි කරුණාරත්න ඊයේ වනවිට පසුවූයේ ROAD TO PARIS ශ්‍රේණිගත කිරීම්වල 49වැනි ස්ථානයේයි.

එම නිසා ඔලිම්පික් උලෙළට සහභාගි වන ක්‍රීඩිකාවන් 48දෙනා අතරට පැමිණීම සඳහා ඊයේ පැවති ඉසව්ව තරුෂිට ඉතා තීරණාත්මක ඉසව්වක් බවට පත්ව තිබුණා.

තරුෂි සහභාගි වූ කාන්තා මීටර 800 ඉසව්වේ අවසන් තරගය ඊයේ උදෑසන 7යි 50ට ආරම්භ වීමට නියමිතව තිබුණත්, අළුයම සිට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරුෂීගේ ඉසව්ව ආරම්භ කිරීම පමාකරන ලෙස ඇයගේ පුහුණුකරුවන සුසන්ත ප්‍රනාන්දු මලල ක්‍රීඩා බලධාරින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වර්ෂාව ඇදහැලෙන අවස්ථාවේ ධාවනය යෙදීම අපහසු නිසාත්, මීටර 800 ධාවන ඉසව්වේ වැදගත්ම මංතීරුව වන පළමු මංතීරුවේ ඒ අවස්ථාවේ ජලය රැඳී තිබීමත් පුහුණුකරු එම ඉල්ලීම සිදුකිරීමට හේතුවයි.

වර්ෂාව නොමැති අවස්ථාවේ එම ඉසව්ව පවත්වන බව පොරොන්දු වූ බලධාරීන්, ඉසව්ව ආරම්භයට පෙර පළමු මංතීරුවේ රැඳී තිබෙන ජලය ඉවත් කිරීමටද පොරොන්දු වී තිබෙනවා.

නමුත් පුහුණුකරුගේ ඉල්ලීමට කන්නොදුන් බලධාරීන් වර්ෂාව මධ්‍යෙය්ම තරුෂිගේ ඉසව්ව ආරම්භ කර ඇති අතර පළමු මංතීරුවේ රැඳී තිබූ ජලය ඉවත් කිරීමටද ඔවුන් කටයුතුකර තිබුණේ නැහැ.

ධාවනයට කිසිසේත්ම නුසුදුසු පරිසරයකදී මීටර 800 ඉසව්වට සහභාගි වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2යි තත්පර 4යි දශම 2යි 2ක කාලයකින් ඉසව්ව නිමකරමින් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තා.

නමුත් කණගාටුවට කරුණ වන්නේ අයහපත් කාළගුණය සහ මංතීරුවේ තත්වය හේතුවෙන් තරුෂිට බලාපොරොත්තු වූ කාලය වාර්තා කිරීමට නොහැකි වීමයි.

තරුෂිගේ පුහුණුකරු සඳහන් කළේ මිනිත්තු 2යි තත්පර 3ක කාලයකින් තරුෂි ඊයේ ඉසව්ව නිම කිරිමට සැලසුම් කර තිබූ බවත්, එම කාලය වාර්තා කළේ නම් ශ්‍රේණිගත කිරීම්වල 39වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව සුරක්ෂිත කරගැනීමට තිබූ බවයි.

නමුත් ඊයේ වාර්තා කළ කාලයත් සමග හිමිවූ ප්‍රසාද ලකුණු ප්‍රමාණයෙන් තරුෂිට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිවූයේ 42වැනි ස්ථානය දක්වා පමණයි.

ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ කාලය මේ මස 30වැනිදා අවසන්වන බැවින් තවත් රටවල් රැසක ජාතික තරගාවලි ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලි වලදී තවත් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියහොත් තරුෂිගේ පැරිස් ඔලිම්පික් සිහිනය බොඳව යනවා.

මෙරට මලල ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ඔලිම්පික් බලාපොරොත්තු බිඳ දැමීමට උත්සාහ දැරූ පළමු අවස්ථාව මෙය නොවෙයි.

පසුගිය මැයි මාසයේ බහමාස් හිදී පැවැත්වූ ලෝක සහය දිවිමේ සැණකෙළියට සහභාගි වීම සඳහා ආසියාවේ ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකා පිරිමි මීටර 400 සහය දිවීමේ කණ්ඩායමට වීසා ලබාගැනීමේදී, ශ්‍රී ලංකා මලල ක්‍රිඩා බලධාරීන් අතින් සිදුවූ පමාවක් හේතුවෙන් ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවුණා.

මෙරට මලල ක්‍රිඩා බලධාරීන් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ වසර ගණනාවක කැපවීම සහ සිහින තුට්ටුවකටවත් මායිම් නොකරන්නේ මන්දැයි කිසිවකුටත් සිතාගැනීමට නොහැකිව තිබෙනවා.

වෙනත් රටවල මෙන් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට අපොහොසත් මෙරට බලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් කළ ඉතා සුළු ඉල්ලීමත් නොසලකා හරින්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඔලිම්පික් උලෙළට සහභාගි වනු දැකීමට ඇති අකමැත්ත නිසාද?

තනතුරුවලින් හිස් උදුම්මවාගත් බලධාරීන් සිදුකරන මෙවන් ජාතික අපරාධ පිලිබඳ ක්‍රිඩා අමාත්‍යවරයා අවශ්‍ය පියවර නොගතහොත්, අනාගතයේදීත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ඉලක්ක කරා යාම සිහිනයක්ම වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *