ඉන්දියා – දකුණු අප්‍රිකා අවසන් ගැටුම අද

ඉදිරි වර්ෂ දෙක සඳහා 20-20 ක්‍රිකට් පිටියේ ලෝක ශූරයන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

අමෙරිකවේ සහ බටහිර ඉන්දීය කොදව් දූපත් හි සම සත්කාරකත්වයෙන් පැවති මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මසකට ආසන්න කාලයක් පැවැති අතර මෙවර එහි අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ අපරාජිත කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවයි.

මූලික වටයේ ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව අපරාතිව සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ඩී කාණ්ඩය යටතේ තරග වැදුණු දකුණු අප්‍රිකාවද අපරාජිතව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.

සුපිරි අට දෙනාගේ වටයේද ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සිය අපරාජිත බව රකිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අවසන් පූර්ව වටයේදී පෙරලිකාර ඇෆ්ගනිස්තානය පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තා.

1992 වසරේ සිට එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරග 5කට සහ 20යි 20 ලෝක කුසලාන අවසන් පූර්ව තරග 2කට සහභාගි වූ දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයේ කඩඉම පසුකිරීමට නොහැකිවීම නිසා ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් ඔවුන්ව හැඳින්වුණා.

කෙප්ලර් වෙසල්ස් , හන්සි ක්‍රොන්යේ , ශෝන් පොලොක්, ග්‍රෑම් ස්මිත්, ජැක් කලිස්, මාක් බවුචර්, ඒ.බී ඩිවිලියර්ස් වැනි දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයින්ට පවා නොහැකිවූ ලෝක කුසලාන අවසන් පූර්ව කඩඉම පසුකිරීමට ඒඩ්න් මාක්‍රම් ප්‍රමුඛ දකුණු අප්‍රිකා කණ්ඩායමට හැකිවීම විශේෂත්වයක්.

ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ දෙවන අවසන් පූර්ව තරගයේදි ගියවර ශූරයින් වූ එංගලන්තය ලකුණු 68කින් පරාජය කරමින්.

ඒ අනුව ඉන්දියාව තුන්වන වරටත් 20-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තා.

ඉන්දියාව අද තරගයට පිවිසෙන්නේ වසර 17කට පසු 20-20 ලෝක කුසලාන කිරුළ සිය මවුබිම වෙත රැගෙන යාමේ අපේක්ෂාවෙන්.

ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට අවසන් තරගයකට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකාව අද තරගයට පිවිසෙන්නේ සිය පළමු අවස්ථාවේදිම 20-20 කිරුළ දෝලට ගැනිමේ අරමුණ ඇතිවයි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර 20-20 ලෝක කුසලානයේ අවසන් මහ තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8ට බාර්බඩෝස් හිදි පැවැත්වීමට නියමතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *