ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට අද සමත් වුණා.
ඒ මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී පෙරලිකාර ඇෆ්ගනිස්තාන කණ්ඩායම පහසුවෙන් පරාජයට පත්කරමින්.
මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ට්‍රිනිඩ්‍රෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද උදෑසන පැවැත්වුණේ පෙරලිකාර ඇෆ්ගනිස්තානය සහ අපරාජිත දකුණු අප්‍රිකාව අතරයි.
මීට පෙර එක්දින සහ 20යි 20 ලෝක කුසලාන අවසන් පූර්ව තරග 7කට සහභාගි වී සිටි දකුණු අප්‍රිකාව පළමු වරට ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබාගැනීමේ අරමුණෙන් අද පිටියට පිවිසෙද්දී, කුළුඳුල් ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට සහභාගි වූ ඇෆ්ගනිස්තානය පිටියට පිවිසුණේ පළමු අවස්ථාවේදීම ලෝක කුසලාන අවසන් තරගයක සිය ස්ථානය තහවුරු කරගැනීමේ අරමුණෙන්.
තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක රෂීඩ් ඛාන් ට්‍රිනිඩෑඩ් තණතීරුවේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
නමුත් වේලාසනින්ම ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සැලසුම් අවුල්කළ දකුණු අප්‍රිකානු පන්දු බල ඇණිය පන්දුවාර 11යි පන්දු 5කදී ඇෆ්ගනිස්තාන සියලුම ක්‍රීඩකයින් ලකුණු 56කට දවාගත්තා.
මෙම ලකුණු සංඛ්‍යාව 20යි 20 තරගයකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි.
ලකුණු 57ක පහසු ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 8යි පන්දු 5කදී එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයගනිමින් මෙවර 20යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගත්තා.
1992 වසරේ සිට එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරග 5කට සහ 20යි 20 ලෝක කුසලාන අවසන් පූර්ව තරග 2කට සහභාගි වූ දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයේ කඩඉම පසුකිරීමට නොහැකිවීම නිසා ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් ඔවුන්ව හැඳින්වුණා.
කෙප්ලර් වෙසල්ස් , හන්සි ක්‍රොන්යේ , ශෝන් පොලොක්, ග්‍රෑම් ස්මිත්, ජැක් කලිස්, මාක් බවුචර්, ඒ.බී ඩිවිලියර්ස් වැනි දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයින්ට පවා නොහැකිවූ ලෝක කුසලාන අවසන් පූර්ව කඩඉම පසුකිරීමට ඒඩ්න් මාක්‍රම් ප්‍රමුඛ දකුණු අප්‍රිකා කණ්ඩායමට හැකිවීම විශේෂත්වයක්.
මේ අතර මෙවර ලෝක කුසලානයේ පෙරලිකාරම කණ්ඩායමවන ඇෆ්ගනිස්තානය සිය සාර්ථකම ලෝක කුසලානය අද අවසන් කළේ ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයටයි.
මෙවර ලෝක කුසලාන අවසන් තරගයේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රතිවාදී කණ්ඩායම අද රාත්‍රී 8ට පැවැත්වෙන ඉන්දියා – එංගලන්ත අවසන් පූර්ව තරගයේදී තීරණය වනු ඇති.

