ඉතිහාසයේ පළමු වරට 20-20 ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන්ම ඉවත්විමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සිදු වුණා.
ඒ නෙදර්ලන්තයට එරෙහිව ඊයේ පැවති තරගය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 25කින් ජය ගැනීමත් සමගයි.
බංග්ලාදේශය සහ නෙදර්ලන්ත තරගයට ආරම්භයේදී වර්ෂාවෙන් බාධා එල්ල වූණත් පසුව තරගය ආරම්භ වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බොඳ කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 159ක් රැස්කළා.
ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නෙදර්ලන්තයට නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 134ක් පමණයි.
ඒ අනුව ඊයේ තරගය ලකුණු 25කින් ජයගැනීමට බංග්ලාදේශය සමත්වීමත් සමඟ 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබු අවසන් බලාපොරොත්තුවත් බොඳව ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක මූලික වටයෙන් ඉවත් වූ පළමු අවස්ථාව මෙයයි.
2014 වසරේදී 20-20 ලෝක ශූරයන් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව අනතුරුව පැවති කිසිදු 20-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබා ගැනීමට සමත්වී නැහැ.
මේ අතර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පැපුවා නිව්ගිනියාව අතර පැවති තරගය කඩුලු 7කින් ඇෆ්ගනිස්තානය ජයගැනීමත් සමඟ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නවසීලන්තයට තිබු අවස්ථාවත් අද ගිලිහි ගියා.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ඉවත්වීමට නසීලන්ත පිලටද සිදුවුණා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට මේ දක්වා සුදුසුකම් ලබාඇත්තේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාවයි.
