ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවූ පළමු තරගයෙන් අමිහිරි පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.
අලුතින්ම ඉදිකෙරුණු නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු නිල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස පැවති ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
එම තීරණය නිවැරදිද යන්න පිළිබඳව සැකයක් මතුවූයේ පළමු පවර් ප්ලේ අවස්ථාව වනවිට ඉනිමේ පළමු පන්දුවාර 6 තුළ හතරේ පහර දෙකක් පමණක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 24ක් රැස් කරගැනීම නිසයි.
තණතීරුවේ අනපේක්ෂිත ලෙස පන්දුව ඉපිලීම සහ හතරේ සීමාව ආසන්නයේදී පන්දුව වේගයෙන් ඇදී නොයාම යන සාධකත් සමඟ දකුණු අප්‍රිකා වේගපන්දු යවන්නන් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 9 ලකුණු 46ක් තුළ දැවීගියා.
තණතීරුවට දෙපසින් හතරේ සීමාව ඉතා දුරින් පිහිටා තිබෙන බව අවබෝධ කර නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ම විශාල පහරවල් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී උඩපන්දු ලබාදී දැවීයාමද මෙහිදි කැපී පෙනුණා.
ඒ අනුව පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 77කට සීමා වුණේ 20-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඔන්‍රිච් නොක්‍යා ලකුණු 7කට කඩුලු 4ක් දවාගත්තා.
ලකුණු 78ක පහසු ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකරුවන්ටද තණතීරුවේ අවිනිශ්චිත හැසිරීම හේතුවෙන් පහසුවෙන් එම ඉලක්කය හඹායාමට අවස්ථාව උදාවූණේ නැහැ.
ලකුණු 23කට දකුණු අප්‍රිකා පිලේ කඩුලු 2ක් දැවීගොස් තිබියදී හයවන පන්දුවාරයේ අවසන් පන්දුවට ටිස්ටන් ස්ටබ්ස් ලබාදුන් උඩපන්දුවක් කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී යාම හේතුවෙන් දකුණු අප්‍රිකා පිලට පීඩනයක් එල්ල කිරීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වී ගියා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් නිසි පාලනයක් සහිතව පන්දු යැවීම හේතුවෙන් දකුණු අප්‍රිකා පිලට ලකුණු 78ක ඉලක්කය හඹායාමට පන්දුවාර 16යි එක් පන්දුවක් වැයවුණා.
මෙම තරගය පුරා කණ්ඩායම් දෙකේම එක් පන්දුවාරයකට ලකුණු රැස් කිරීමේ වේගය 4.42ක් ලෙස සටහන් වීම නිසා නසාවු තණතීරුව පිතිකරුවන්ට සහයක් නොදැක් වූ බවට එය කදිම නිදසුනක්.
මූලික වටය යටතේ ශ්‍රී ලංකා සහභාගීවන දෙවන තරගය එළඹෙන 8 වැනිදා බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි.
