රත්නපුර, මුද්දව මොණරවිල ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය එහි මූලික අදියරේ ඉදිකිරීම් අවසන් කර ඉකුත්දා ජනතා අයිතියට පත්කෙරුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය, T20 කණ්ඩායමේ නායක වනිදු හසරන්ග, පැතුම් නිශ්ශංක ඇතුළු ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් අද (30) පෙරවරුවේ මෙම ක්‍රීඩාංගණය ජනතා අයිතිය ට පත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය යටතේ ඉදි වෙමින් පවතින මොණරවිල ක්‍රීඩාංගණය සබරගමුව පළාතේ ක්‍රිකට් ක්‍රීඩා වේ නිරත ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩා සංගම් වල මෙන්ම ප්‍රදේශයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් වල භාවිතය සඳහා මෙලෙස රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු පිරිස මොණරවිල ක්‍රීඩාංගණය නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ඊට අදාල පළකය නිරාවරණය කළා.
අනතුරුව පැවැති නිල උත්සවය අමතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා පැවැසුවේ ඉදිරි මාස තුන ඇතුළත ක්‍රීඩාංගණයේ සියළු ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම ට පියවර ගන්නා බවයි. ක්‍රිකට් ක්‍රීඩාව ට ඇල්මක් දක්වන පාසල් ක්‍රිකට් කණ්ඩායම් වල සිට දිවයිනේ සියළු ක්‍රිකට් සංගම් වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ජාතික කණ්ඩායම ට පැමිණිම සඳහා සම අවස්ථා ලබා දීම වෙනුවෙන්, දිස්ත්‍රික් මට්ටමින් සියළු පහසුකම් සහිත ක්‍රිකට් ක්‍රීඩාංගණ 25 ක් ඉදිකිරීමේ සංකල්පය ට අනුව මෙම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණය ගොඩ නැඟීමට පියවර ගත් බවද සුජීව ගඩොලියද්ද මහතා පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති කන්චන ජයරත්න මහතා කියා සිටියේ දුෂ්කර ව්‍යායාමයකින් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් රත්නපුර දිස්ත්‍රික්කයට ලබා ගැනීමට හැකි වූ බවයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් බිහිවනු දැකීම තම අභිලාෂය බව කී කන්චන ජයරත්න මහතා මෙම ක්‍රීඩාංගණය ඒ සඳහා හොඳ තෝතැන්නක් වන බව ද පැවසුවා.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ වල කුසලතා ප්‍රදර්ශනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇගයීම සඳහා ඔවුන් ට කුසලතා සම්මාන පිරිනමනු ලැබුවා.
අනතුරු ක්‍රීඩාංගණය විවෘත කිරීම සංකේතවත් කරමින්, සනත් ජයසූරිය, වනිදු හසරංග සහ පැතුම් නිශ්ශංක වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුවූ අතර, සනත් ජයසූරියගේ පිතිපහරකින් ක්‍රීඩාංගනය තරග සඳහා සමාරම්භය සනිටුහන් කළා.
මෙම අවස්ථාවට වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ඩිලාන් පෙරේරා, අකිල එල්ලාවල යන මහත්වරු සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති සහ සබරගමුව පළාත් සභාවේ සභාපති කන්චන ජයරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.





