නායක ධනංජය ද සිල්වාගේ සහ කමිඳු මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණය සහ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
සිලට්හිදි පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 280ක් රැස්කළ දෙවැනි ඉනිමේදී ලකුණු 418 ක් රැස් කරගත්තා.
මේ ඉනිම දෙකේදීම නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ශත රැස් කළේ එවැනි දස්කමක් එක්ව සිදුකළ ලොව තුන් වැනි පිතිකරු යුගලය ලෙස වාර්තා අතරට එක්වෙමින්.
බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 188ක් පමණක් බැවින් ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණා.
ඔවුන් තරගයේ සිව් වැනි දිනය වූ අද තරගය ආරම්භ කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 47ක් ලබා සිටියා.
අද දිනයේදි බංග්ලාදේශ ඉනිමේ ඉතිරි කඩුලු 5 ලකුණු 135ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවනන්න් සමත්වුණේ ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 182කට සීමා කරමින්.
ඒ අනුව දිනක් ඉතිරිව තිබියදී මෙම තරගය ලකුණු 328කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
බංග්ලාදේශ ඉනිමේ කඩුලු සියල්ල ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් විසින් දවාගෙන තිබීම මෙහිදී කැපි පෙනුණා.
දෙවැනි ඉනිමේදී සුපිරි පන්දු යැවීමක නිරත වු කසුන් රාජිත ලකුණු 56කට කඩුලු 5ක් බිඳ හෙලුවා.
විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් සහ ලහිරු කුමාර කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ වීරයා නායක ධනංජය ද සිල්වා.
මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
එමෙන්ම ශ්‍රී ලංකාව අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.
මේ වන විට තරග 3කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව එක් ජයග්‍රහණයක් සහ පරාජයක් දෙකක් සමගින් ප්‍රසාද ලකුණු 12ක් ලබා සිටිනවා.
