සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා.
එම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළේ තරගාවලිය ආරම්භ වීමට පැය 24කටත් අඩු කාලයක් තිබියදීයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.
16 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර උපනායක ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි.
අසිත ප්‍රනාන්දු සහ ෂෙවෝන් ඩැනියෙල් වෙනුවට ලහිරු කුමාර සහ කමිඳු මෙන්ඩිස් බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතයට
චරිත් අසංලක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ,අකිල ධනංජය, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුසංඛ, ප්‍රමෝද් මධුෂාන් සහ ලහිරු කුමාර ඇතුළත්.
ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙලෙස අද ප්‍රකාශයට පත් කළේ තරගාවලිය ආරම්භ වීමට පැය 24කටත් අඩු කාලයක් තිබියදීයි.
ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා කණ්ඩායේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගෙන් විමසීමක් කළා.
මාධ්‍යවේදියා
එක්දින සංචිතය මෙතෙක් නම්කර නැත්තේ යම් හේතුවක් නිසා ද?
ක්‍රිස් සිල්වර්වුඩ් – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු
“මට ඒ ගැන අදහසක් නැහැ.මම මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැහැ. ඒක කණගාටුදායක කරුණක් වෙන්න පුළුවන්. අපි සියලු දෙනා මේ තරගාවලිය ගැන උද්යෝගයකින් කටයුතු කරන්නේ. මං හිතන්නේ කණ්ඩායම් දෙකම ඒ විදියටයි හිතන්නේ. අපේ කණ්ඩායම, මීළඟ ලෝක කුසලානයේදී තරග කළ යුතු ආකාරයේ ක්‍රිකට් වලට දැන් අවතීර්ණ වී සිටිනවා. එය වැරදි හඳුනාගනිමින් ඉදිරියට යන ක්‍රියාවලියක්. අප ශ්‍රී ලංකාවේදී පැවති තරගාවලියේ සිට මේ දක්වා ගොඩනැගු ඉහළම තත්වය පවත්වා ගැනීමට උත්සාහ කරනවා. දැන් කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කරන අන්තිම පිතිකරුවන් ඉහළ ලකුණු රැස්කරමින් ලකුණු පුවරුවේ ඉහළ ලකුණු සංඛ්‍යාවක් සටහන් කරනවා. ඒවගේම පන්දු යවන්නනුත් ඔවුන්ගේ කුසලතා ඉහළ මට්ටමක පවත්වාගනිමින් තව තවත් දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කරනවා.”
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය චිතගොංහිදි හෙට පැවැත්වෙන අතර එම තරගය හෙට පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.
