බංග්ලාදේශය සමඟ පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.
ඊයේ ලැබූ ජයත් සමගින් බංග්ලාදේශය තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.
බංග්ලාදේශයේ චොටොග්‍රෑම්හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ 255ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කළ අතර ජනිත් ලියනගේ ලකුණු 67ක් රැස්කළා.
ලකුණු 256ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 23ක් තුළ දැවී ගියත් නායක නජ්මුල් හොසේන් ශැන්ටෝ,මහමදුල්ලා රියාද් සහ මුෂ්ෆිකර් රහීම් සමගින් එක්ව බංග්ලාදේශය ජයග්‍රහණය වෙත රැගෙන ගියා.
බංග්ලාදේශය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 44 යි පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවි තිබියදීයි.
නායකත්වයේ ඉනිමක් ක්‍රිඩාකළ නජ්මුල් හොසේන් ශැන්ටෝ නොදැවී ලකුණු 122ක් රැස්කළ අතර මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 73ක් රැස්කළා.
”පින්න වැටුණාම බෝලේ ග්‍රහණය කරගන්න අසීරු වුණා.ඒ හින්දා ඒ වෙලාවේ පන්දු යවන්න අපිට තරමක් අපහසු වුණා.ඇත්තටම මේ තරම් පින්න වැටෙයි කියලා අපි බලාපොරොත්තු වුණේ නැහැ.ඒක තමයි අපි පළමුව පන්දුවට පහර දෙන්න තීරණය කළේ.”
මේ අතර ඊයේ තරගයේදී වනිඳු හසරංගගේ පන්දුවලට මහමදුල්ලා රියාද් මුහුණදුන් ආකාරය පිලිබඳ බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ තරගයෙන් අනතුරුව මහමදුල්ලා රියාද්ට ක්‍රීඩක විවේකාගාරයේදී ප්‍රශංසා කළේ මේ ආකාරයෙන්.
”ඔවුන්ගේ හොඳම පන්දුයවන්නා වන හසරංගගේ දෙවන පන්දුවට ඔබ ප්‍රතිචාර දක්වපු ආකාරයට මම ඉතාමත් කැමතියි. ඔබ ලකුණු 6ක් වාර්තා කළේ අරමුණක් ඇතිව පැමිණි බවට පෙන්නුම් කරමින්. ඉතාමත් හොඳයි. එවැනි අවස්ථා අපි දකින්න කැමතියි. ඔබ අනෙක් පිළේ ප්‍රධාන චරිතයට පහර දුන්නා. ඔහුට තරගයට අවතීර්ණ වීමට ඔබ ඉඩ දුන්නේ නැහැ.”
